මිගාන් ගියාට පස්සෙ ඇඳට වැටිලා ඇස් පියා ගත්තට පස්සෙ සත්සිඳුට එහෙම්මම නින්ද ගියා. එයා ආපහු ඇස් විවර කරල බැලුවේ අවට වටපිටාවෙන් ඇහුණු කුරුල්ලන්ගේ කිචි බිචි නාදය නිසා. බිත්ති ඔරලෝසුව දිහාවට එයා ඇස් යොමු කළේ ඇඟ මැළි කඩන ගමන්. වෙලාව අටටත් කිට්ටු වෙලා තිබුණා.
ඒ දිහා බලාගෙනම එයා එහෙම්මම ඇඳෙන් බිමට බැහැලා kitchen එකට ගිහින් වතුර වීදුරුවකුත් පුරවගෙන කට සෝදලා දැම්මා. කේත්ලයට වතුර එකක් තියලා එයා kitchen එකේ මේසයට හේත්තු වෙලා බලන් උන්නේ කම්මැලිකමෙන් . වැඩිය ඕනි නෑ ඒ මේසයට හේත්තු වෙලා උන්නු ඒ තත්පර කිහිපයටත් කොල්ලට හිට ගෙන නින්ද ගියා. වතුර එක නටන හඬටයි කොල්ලා ආයෙමත් වතාවක් ඇස් විවර කරලා බැලුවේ.
වතුර එක බාලා අරගෙන එයා තේ මඩියට අළුතෙන්ම තේ කොළ ටිකක් දැම්මා. ඒ තේ කොළ නම් මාරම සුවඳයි. මොකද ඒවට වැනිලා දාලයි තියෙන්නේ. එතනම තිබුණු ඉඟුරු කෑලි දාලා තිබුණු පුංචි බෝතලේ අරන් එයා ඒකෙන් ඉඟුරු කෑල්ලකුත් එළියට අරන් සෝද ගත්තා. ඉන් පස්සෙ එයා ඒ ඉඟුරු කෑල්ල තලලා අර තේ මඩියටම දා ගත්තා.
එයාගේ සුදු පාට තේ බොන මග් එක අරන් ඒකට තේ වතුර වත් කරගෙන සීනී දාලා රසම රස උණු තේ එකකුත් හදා ගෙන ඇවිත් කාමරයට වුණු සත්සිඳු ආයෙමත් වතාවක් ඇඳෙන් වාඩි වුණා. එයා තේ එක බොන අතරතුරේදිත් කල්පනා කළේ ඊයේ රෑ සිද්ද වෙච්චි දේවල් ගැන. ඒ දේවල් නම් හරි පුදුමයි. හැමදෙයක්ම හරියට නිකන් හීනයක් වගේ.
ඇත්තමයි , තවමත් වචනවලින් ආදරෙයි කියලා නොකිව්වත් ඒ හිත ආදරේ කරන තරම් දන්නෙ එයානේ. මල් පිපෙන වසන්ත කාලය දැන් ඇවිදින් නිසා හිතට හරි නිදහස් ; හිතට හරි සැනසීමයි.
ජීවිතේ මෙච්චර ලස්සන වෙන හැටි නම් හිතාගන්නත් අමාරුයි. කන්දක් නැග්ගොත් පල්ලමක් මුණ ගැහෙනවා කියලා මිනිස්සු කියන්නෙ නිකන් නෙවෙයි නේද.. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. අමාරුම කාල ගෙවා ගත්තට පස්සෙ කොහොම හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් උදා වෙනවාමයි . ඉතින් ඒකයි ජීවිතේ හැටි..
උණු උණුවේ දුම් දාන ඉඟුරු රස තේ එකත් පිඹ පිඹ නිව නිවා බීලා සත්සිඳු ආයෙමත් kitchen එකට ගිහින් ඒ තේ බීපු මග් එක සෝදලා පිඟන් රාක්කයෙන් එල්ලුවා.
ඒ කරලා එයා ගියේ kitchen එකත් එක්කම අල්ලලා අල්ලපු බිත්තියෙන් වෙන් කරලා හදපු bathroom එකට. උදේම නැඟිටලා වෙනදා office යද්දි නම් ඉතින් මීට ඉස්සර bathroom එකට ගිහින් wash එකක් එහෙම දාගෙනනේ යන්නේ. ඒත් ඉතින් කොල්ලා අද දවසේ office යන්නෙ නෑ කියලා තීරණය කළේ ඊයේ රෑ මයි. මොකද එයාට ඕනි වුණේ ක්ලෙයාරා තොම්සන් ගේ funeral එකට යන්න.
එයා bathroom එකට ගිහින් wash එකකුත් දාගෙන ආපහු කාමරයට එද්දි 8.30 ත් පහු වෙලා තිබුණා . එයා බිත්ති ඔරලෝසුව දිහා ආපහු වතාවක් බලලා කබඩ් එක ගාවට ගිහින් විවර කරලා බැලුවේ funeral එකට ඇඳන් යන්න හොඳ ඇඳුමක්..
එච්චරම කියලා හොඳ හොඳ ඇඳුම් නැතුවට මොකද එයාට අඳින්න පුළුවන් විදිහේ ඇඳුම් තියෙනවා. මොකද හැම මාසෙකම වගේ ගන්න සැලරි එකෙන් අඳින්න ගන්න ඇඳුමකට එයා කීයක් හරි වෙන් කරනවාමයි. ඒත් දැන් නම් මාස කිහිපයකින් තාමත් එයාට ඇඳුමක් ගන්න බැරි වුණා.
ගෙදර වියදමයි , එයාගේ වියදමයි ඔක්කොම වගේ දැන් දරන්නෙ එයා නිසා එයාට ඇඳුමක් ගන්න තියා ජීවත් වෙන්නෙ කොහොමද කියලවත් වෙලාවකට හිතා ගන්න බෑ. අම්මා මාළු දැල් අදින්න ගියාට මහ ලොකූ ගාණක් හම්බවෙන්නෙත් නෑ. හැබැයි යහමින් මාළු නම් හම්බවෙනවා.
තාත්තට අයිති වෙලා තිබ්බ බෝට්ටු තුනෙන් එකක් ලොකු අප්පච්චිට අයිති වුණා. අනික පන්හිඳ අයියට අයිති වුණා. එයා නම් ඒ බෝට්ටුව හරි ලස්සනට අළුත්වැඩියා කරලා තියන් ඉන්නවා. ඒ බෝට්ටුව තමයි අර ලස්සන මතක ගොඩක් ගොඩ ගැහිලා තියෙන මාරියා බෝට්ටුව..
ඒ මේ අස්සෙ ඔළුවට ගලා ගෙන එන සෙප්පඩ විජ්ජාවල් ටික මොහොතකට අමතක කරලා දාලා එයා කබඩ් එකෙන් තෝර ගත්තේ සුදු අත් දිග ලිනන් ෂර්ට් එකකුයි, නිල් පාට ඩෙනිමකුයි. ඇඳලා ඇඳලාම හම්පඩ ගැහුණු ඇඳුම් ගොඩක් කබඩ් එකේ යට තට්ටුවේ. අලුත් ඇඳුම් ටික විතරක් උඩ තට්ටුවේ..
එයා රෙදි අයන් කරලා තියන නිසා ඉතින් ආයෙමත් අයන් කර කර ඉන්න දෙයක් නෑ. කළු පාට underwear එකකුයි, කළු පාට බෙල්ට් එකකුයි අරන් කොල්ලා එයා ඇඳන් උන්නු ඔක්කොම ඇඳුම් ටික උනා දාලා සම්පූර්ණ නිරුවත් වුණා.
නිකමට වගේ එයාට ඒ මොහොතෙදී හිතුණෙම එක තත්පරේකට හරි එයාටම එයාගෙ නිරුවත් සිරුර රස විඳින්න ඕනි කියලමයි. ඒ නිසා ඇඟේ එකම එක නූල් පොටක්වත් නැතුව එයා සම්පූර්ණ නිරුවතින් mirror එක ඉස්සරහට ගියා.
Mirror එකෙන් පේන එයාගෙ නිරුවත දිහා එයා මොහොතක් බලන් උන්නේ ඇහිපිල්ලමක්වත් නොගසා. තමන් එච්චර කඩවසම් ද, එච්චර පෞරුෂයක් තියෙනවා ද කියන දේ ඇත්තෙන්ම එයාට ඒ මොහොතෙදි දැනෙන්න වුණා. එයාට දැනුනෙම එයා හරි කඩවසම් තරුණයෙක් බව..
හිසේ සිට දෙපාන්තය දක්වාම කැඩපතෙන් පේන එයාගේ නිරුවත් කැඩපත් චායාව දිහා එයා ඇස් ඉහළ පහළ කරමින් නරඹන්නට වුණා. සියුම් ඉසියුම් ලැජ්ජාවක් වගේම ප්‍රබෝධමත් පිරිමි පෞරුෂත්වයකිනුත් ඒ හිත පිරිලා ගියා.
" සත්සිඳු , මෙහෙම හූනු බිජ්ජක් වගේ හිටියට උඹත් හෙණ හැන්ඩියානේ.. නැතුව ඉතින්.. නැත්නම් අර වගේ නපුරු ගැරඬියෙක් දපනෙ දාගන්නෙ කොහොමද..අනේ ඉතින් මගෙ නපුරෝ , ඔයැයි වශී වුනේ මෙයැයිගේ මේ රූප සොබාවටද.. හම්මේ ඉතින්.. එක අතකට මං අහිංසක නිසා වෙන්න ඇති.. අහිංසක...! ඈ.. මං අහිංසකයිද.. මං අහිංසක නෑනේ.. සමහර විට එයාට මාව අහිංසක විදිහට පේනවත් ඇති නේද... "
එයා තනියම මිමිණුවේ එයාගේ ඉස්සරහා තියෙන කැඩපතෙන් පේන එයාගෙම රුව දිහා බලාගෙනමයි . එයාටම හිනා.. හෙමින් සැරේ එතුවක් වෙලා කැඩපතෙන් පේන එයාගේ රුවේ මුහුණ දිහා බලා ඉඳලා යටිකය දිහාවට ඇස් යොමු කරද්දි නම් කොල්ලටම ලැජ්ජ හිතුණා. එයා එහෙම්මම අත් දෙකෙන්ම මූණ වහගෙන ආයෙමත් ඇඳ ගාවට දුවලා ගියේ තත්පරේට දෙකට.
" සැක්... උඹට නම් ලැජ්ජාවක් නෑ.. අවලම් කුපාඩියා.. හෙළුවෙන් ඉන්නමයි ආස... "
එයා එයාටම කියාගන්න ගමන් ඇඳ උඩ දාලා තිබුණු underwear එක අරන් ඇඳ ගෙන එතුවක් වෙලා උන්නු නිරුවත යාන්තමට වහ ගත්තා. ඒ මේ අස්සේ කොල්ලටම හිනා යන්නෙ ඒකා කරන මල විගඩම් මතක් වෙලා. ඒ හිනා වෙන ගමන්ම එයා ඩෙනිම් කලිසමත් ඇඟ ලා ගෙන බෙල්ට් එක දාගත්තා.
සුදු පැහැති අත් දිග ලිනන් ෂර්ට් එකත් ඇඟ ලා ගෙන එයා බොත්තම් දාන ගමන්ම කැඩපත ඉස්සරහට ගියා. ඒ ගිහින් ෂර්ට් එකේ ඉතුරු බොත්තම් ටික දාගන්න ගමනුත් එයා බලන් උන්නේ එයාගේ කඩවසම් පෙනුමැති මූණ දිහා.
එයා ආයෙමත් බලන් උන්නේ එයාගේ කඩවසම් රූප කාය දිහා. ඒ රූපකාය ඉස්සෙල්ලා දැක්කට වඩා ලස්සනට පේනවද කොහෙද.. ඒත් යන්නෙ මළ ගෙදරක නිසා එයා ඉස්සර එහෙ මෙහෙ යද්දි හැඩ වෙන තරම් හැඩ වුණේ නම් නෑ. ඒ වෙනුවට හරිම සාමාන්‍ය විදිහට watch එකක් විතරක් බැඳගෙන එයා ආයෙමත් වතාවක් එයාගෙ හැඩ බැලුවේ අපායට ගියත් හැඩ වැඩ දාගෙන යන්න ඕනි වගේ එකකින්.
ඒත් එක්කම වගේ blue colour hyper slides slippers දෙකකුත් දාගෙන එයා පෝන් එකත් අරන් කාමරෙන් එළියට බැස්සා. වෙලාවක් කලාවක් ගැන නිනව්වක් නැතුව කාමරේ දොරත් ලොක් කරගෙනම එළියට බැහැලා කොල්ලා ඇවිදගෙන ගියේ ශ්‍රී සුමංගල මාවත දිගේ . පටු පාරක් වුණු ශ්‍රී සුමංගල පාර වෙනදා වගේම තේජමාන ස්වරූපයෙන් බලන් ඉන්නවා. ලොකු ගෙවල් , පොඩි ගෙවල් , අරවා මේවා පිරිලා ගිහින්.. තැන් තැන් වල ලස්සන ලස්සන ගස් කොළන්.. සමහරක් තැන් වල නම් බදන්න බැරි තරමේ රූස්ස ගස්..
ඒවා ඔක්කොම දිහා බල බලා සිරි නරඹමින් ඇවිත් කොල්ලා හයිලෙවල් රෝඩ් එකට ඇවිත් බලන් උන්නා. ක්ලෙයාරාගේ ගෙදරට යන්න නම් එතන ඉඳන් මහරගම පැත්තට යන්න ඕනි. එයා බලන් උන්නේ මහරගම පැත්තට යන්න පුළුවන් බස් එකක් එනතුරු. ඒත් විනාඩි ගාණක්ම ගිහිල්ලත් මහරගම යන්න බස් ආවෙ නැති තැන කොල්ලට මල යකා නැග්ගා.
එහෙට මෙහෙට අඩියක් දෙකක් යන ගමන් කොල්ලා හිත අස්සෙන් මුළු බස් රථ සංගමයේම පළු අරින්න වුණේ හිත අස්සෙන්.
' ටෞකන්ඩ.. ඇයි යකෝ මේ කැවුතු පාරේ බස් එකක් නැත්තේ අපි එළියට බැස්සොත් තමා.. නැත්නම් ඉතින් හැමතිස්සෙම වගේ පුක කැඩිච්ච කඩි රැළ වගේ එහෙට දුවනවා..මෙහෙට දුවනවා.. මුන්ට හෙණ ගහලා තවත් අමතර හෙණ ගෙඩියක් පාත් වෙන්න ඕනි.. මූකලන් බස්සෝ.. අනිත් වෙලාවට නම් කොළඹ පිටකොටුව, කොළඹ පිටකොටුව.. දැන්.. දැන් නිකන් කොළඹ කොටපිටුව වගේ.. ටෞකන්ඩ.. මුන් ඔක්කොටම මං ප්‍රාර්ථනා කරන්නෙ නගින්න නම් එපා දෙයියනේ... '
කොල්ලා බනින්නේ හිත අස්සෙන්. බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන කොල්ලා එක තීරණේකට ආවා.
" මෙතන බලන් උන්නොත් එහෙම මට ක්ලෙයාරා තොම්සන් බලන්න වෙන්නේ මං මළ දාට තමා.... "
එයාටම කියා ගත්තු කොල්ලා වට පිට බලලා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පැත්තට වෙන්න තියෙන ත්‍රීවීල් පාර්ක් එකක් දැකලා හෙමින් සීරුවේ ඒ පැත්තට ඇදෙන්න ගත්තා.
ත්‍රීවීල් පාර්ක් එකට ආව කොල්ලා ටිකක් විතර මැදි වයසේ රියදුරෙක් ගාවට ගිහින් එයත් එක්ක හිනා වෙලා ත්‍රීවීල් එකට ගොඩ වුණා. එ ගොඩ වන ගමන් එයා ත්‍රීවිලර් එකේ රියදුරාට කතා කළා.
" අයියේ , මහරගමට යමුද..? "
" හරි මල්ලි... "
කියන පමාවට ත්‍රීවිලර් එකේ ඩ්‍රයිවර් ත්‍රීවීලර් එක start කරලත් ඉවරයි. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ත්‍රීවීලර් එකේ ඩ්‍රයිවර් උන්නැහෙත් හයිලෙවල් පාර දිගේ මහරගම පැත්තට ඩ්‍රයිව් කරන්න වුණා. එයා යන ගමන් බලන් ගියේ දකුණු අත පැත්තට වෙන්න තිබුණු පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය දිහා.
ඒ හරියේ කොල්ලට කොච්චර මතක නම් තියෙනවද.. ඉස්සර මිගාන් බයික් එකෙන් හරි ජීප් එකෙන් හරි එයාව ගෙනත් ඇරලවන්නේ ඔය පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ගාවට. ඒක මතක් වෙලා කොල්ලට පුංචි හිනාවකුත් ආවා. ඒත් එයා ඩ්‍රයිවර්ට නොපෙනෙන්න ඒ හිනාව හංග ගෙන වට පිට බලමින්ම ගමන් කරන්න වුණා.
ක්ලෙයාරාගේ ගෙදර වත්තට එක් වරම වගේ ඇතුළු වුණේ කළු පාට ජීප් රථයක්. ඒ ජීප් එකේ ආවේ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි ගැරඬියා. එයා ආවේ තනියම නම් නෙවෙයි. එයා ආවේ ජේකබ් එක්ක.. රෑ ඇවිල්ලා ගියාට මොකද ජේකබ්ට ආයෙමත් වතාවක් මිගාන් එක්ක එන්න සිද්ද වුණා ඉතින්..
ඒත් ජේකබ්ට ඒ නිසල සිරුර දිහා තවත් බලන්න තරම් නම් හිතට හයියක් නෑ. එයාගේ හිත අස්සෙ නලියමින් තියෙන වේදනාව දන්නෙ එයා විතරමයි. ඒ වේදනාව ගැන කවුරුවත් දන්නෙ නෑ. ලෝකෙටම ඇහෙන්න කෑ ගහල අඬ අඬා ඒ වේදනාව පිට කරන්න හිතුණත් එයාට ඒක කරන්න බෑ.
පිරිමින්ට අඬන්න තහනම් නෑ. ඒත් පිරිමින්ට ලෝකෙට පේන්න අඬන්න බෑ. පිරිමින්ට දුක නොදැනෙනවා නෙවෙයි. ඒත් පිරිමි බයයි ලෝකෙට පේන්න කඳුළු වගුරුවන්න.. මොකද ඒකෙන් එයාලාගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා..
ඒත් ඕනිම රළු කළු ගලක් වගේ හදවතක් තියෙන පිරිමියෙක් වුනත් ආදරේ ඉස්සරහා මුදු මොළොක් මල් පෙත්තක් බවට පත් වෙනවා. එනයින් කොහොමත් ඒ පිරිමි ආදරේ විප්‍රයෝගයෙන් අඬන්න ගන්නවා. ලෝකෙට නොපෙනෙන්න වුණත් හැංගිලා හරි ඒ පිරිමි අඬනවා. එහෙමත් නැත්නම් හිත අස්සෙන් හරි ඒ පිරිමි අඬනවා. ඒකයි යතාර්ථය..
ගිනි මකරෙක් ගිනි පිඹින වේගයෙන් වගේ ඇවිත් ක්ලෙයාරා තොම්සන් ගේ නිවසේ වත්තට ඇතුළු වුනු කලු පාට ජීප් එක දිහාවට ඒ funeral එකට ඇවිත් උන්නු හැම කෙනෙක්ගෙම වගේ ඇස් යොමු වුණා. හැමෝම බලන් උන්නේ ජීප් එකෙන් ආව පොර කවුද කියලා බලන්න වගේ.
ජීප් එකේ දොර විවර වෙනවත් එක්කම වගේ ගැරඬියා ජීප් එකෙන් බිමට බැස්සෙ හරියට මහ රජෙක් පාවඩ මතින් වඩින තාලෙට.. හිසට මල් වියන් පයට පාවඩ කිව්වලු. ජේකබ් ජීප් එකේ නවතින්න හිතාගෙන ආවත් මිගාන් ඇතුළට යද්දි එයාට ජීප් එකේ නතර වෙන්න බෑනේ. මොකද මොන දේටත් වඩා එයාගේ safety එක වැදගත්නේ..
ජේකබ් ඒ නිසාම මිගාන්ගේ පස්සෙන් වැටිලා එයත් එක්කම ගෙදර ඇතුලට පිවිසුණා. ජේකබ්ට ඒ ගෙදර මහ අමුතු තැනක් නෙවෙයි. ඒ ගෙදරට අඩිය තියද්දිම වගේ එයාට ආයෙ ආයෙමත් මතකයට ආවේ අර පුංචිම පුංචි සීමිත කාල සීමාවකට විතරක් කොටු වෙච්චි ලස්සනම ලස්සන මතක ගොන්න..
ඒ හැම මතකයක් ගැනම දන්නෙ එයත් , ක්ලෙයාරා තොම්සනුත් විතරමයි. ඒත් දැන් වෙද්දි ක්ලෙයාරා තොම්සන් මේ ලෝකයේ නෑ. එයා යන්නම ගිහින්. ඉතින් ඒ හැම ලස්සන මතකයක්ම ජේකබ්ගේ හිත අස්සෙම හැංගිලා නලියන්න අරන්.. මොන දේ සිද්ද වුණත් ඒ එයා හරිම පුංචි කාලයකට හරි ආදරේ කරාපු ගැහැණිය.. ජේකබ්ට දරා ගන්නම බැරි අන්න ඒ කාරණය..
මිගාන් ජීප් එකෙන් බැහැලා ඇවිත් නිවසට පිවිසෙන දිහා එතනට ඇවිත් උන්නු හැම කෙනෙක්ම වගේ බලන් උන්නේ ඇස් උඩ දා ගෙන වගේ. හරියට ඒ අය බලන් උන්නේ මේ කවුද කියලා හිතා ගන්න බැරුව.. වැඩිය ඕනි නෑ ,funeral එකට ඇවිත් උන්නු ලංකාවේ ජනප්‍රියම තලයේ නිළියෝ ටිකක් නිකන් කොල්ලා දිහා බලන් උන්නේ දැන් අල්ලගෙන ගිලින සයිස් එකට..
එයා ඉතින් දැන් ඔය ජාතියේ හම්පඩ කෑලි ගානකටවත් ගන්නෙ නෑ.. බලන් උන්නු එකම එක් කෙනෙක්ගෙවත් බැල්මක් තඹ දොයිතුවකටවත් මායිම් නොකර කොල්ලා ජේකබ් එක්කම ගේ ඇතුළට ගිහින් එතන උන්නු පිරිස අස්සෙන්ම ක්ලෙයාරා තොම්සන් ගේ නිසල දේහය අසළට ගියා.
ජේකබ් මිගාන් එක්ක ගියාට මොකද එතන උන්නු සෙනඟ අතරින් මිගාන්ට ඉස්සරහට යන්න හැරලා ජේකබ් ඔහේ පැත්තකට වෙලා බලන් උන්නා. එයාට ආයෙමත් වතාවක් එතනට යන්න තරම් හිතට සවියක් නෑ. මුළු ජීවිතේම ඉතුරු වෙලා තියෙන අවශේෂ මතකයක් විතරක් වුණු ක්ලෙයාරා තොම්සන් ගේ නිසල දේහය දිහා බලන්න තරම් ජේකබ්ට හයියක් නෑ.
සුදු අත් දිග ලිනන් ෂර්ට් එක ඇඳලා නිල් පාට ඩෙනිම ගහලා sunglasses දෙකකුත් දාගෙන ආව මිගාන් ඒ sunglasses දෙක ගලවලා ෂර්ට් එකේ රඳව ගත්තේ ගේ ඇතුළට ගොඩ වෙද්දිමයි. එදිනෙදා රූපාවාහිනිය on කළත් හරි පේන්න තියෙන සරුවපිත්තල මූණු ටිකේ ආඩම්බරකාර අයිතිකාරියෝ ටික කොල්ලට බැල්ම දාගෙන උන්නේ. ඒත් ඉතින් එයා නෙවෙයි හැරිලාවත් බැලුවේ..
" කවුද අනේ ඒ... "
" ඒ ක්ලෙයාරාගේ හබීද... "
" නෑ නේද... "
" හැන්ඩ්සම් අනේ... "
" යන්ග් බෝයි කෙනෙක් අනේ... "
ඒ මේ අස්සේ තැනින් තැන කසු කුසුව යන්නෙ කොල්ලා දිහා බල බලා. ගෑණු පරාණ ටිකට ඉතින් මිගාන්ව දැක්කත් හරි පුදුම කුලප්පුවක් ගහලා තියෙන්නේ.
මිගාන් එහෙම්මම ක්ලෙයාරාගේ නිසල දේහය දිහා බලන් ඉඳලා අත් දෙක එකතු කරලා වැන්දා. එයාටත් ඒ යට ගිය අතීතය මතක් වුනේ නැතුව නෙවෙයි. කොහේදෝ ඉඳන් ඇවිත් එක් කාලෙක එයාගේ ජීවිතේ කොටසක් වුනු ඒ ගැහැණිය අද ඒ විදිහට මරණය වැළඳගෙන ඉන්න හැටි දකිද්දි එයාට දැනුනේ පුදුමාකාර සංවේගයක්..
ඉස්සර දවස්වල ඩිනෝ ඩිනෝ කිය කියා පස්සෙන් ඇවිදින් එයා එක්ක හුරතල් වුන ක්ලෙයාරා.. ඒත් පස්සෙ කාලෙක ක්ලෙයාරා තොම්සන් එයාට එපාම වුණේ එයා මුදල් මත්තෙම නහින්න ගත්තු නිසා. ක්ලෙයාරා තොම්සන් පස්සෙ පස්සෙ කොල්ලට සල්ලි ඉල්ල ඉල්ලා වද දෙන්න වුණා. කොල්ලා එයාව අත් හැරියෙම අන්න ඒ නිසා..
ඒත් මිගාන් ක්ලෙයාරා තුළින් බලාපොරොත්තු වුනේ ආදරේ. ක්ලෙයාරා එයාට දුන්නේ ආදරේට වඩා ලිංගික තෘප්තියක්. නව යොවුන් වියට ආව මිගාන් වුනත් හිතුවේ ආදරේ කියන්නේ ලිංගිකත්වය කියලා.අන්න එතනයි එයාට වැරදුණේ.. එයා හැම තිස්සෙම වගේ පසුතැවිලි වෙන්න වුණේ අන්න ඒ ගැන.. ඒත් එක් මොහොතක හරිම අහම්බෙන් වගේ එයාගේ ජීවිතයට ආව අර සත්සිඳු මකරන්ද කියන පුංචි කොල්ලා නිසා එයා ආදරය කියන දේ ගැන හරියටම තේරුම් ගත්තා.
සත්සිඳු මකරන්දගේ නමේ හැටියට බලද්දි නම් මකරන්ද කියන්නෙ සුවඳට බව හැබෑවක්. ඒත් ඒකා නමේ අර්ථ රසයට වඩා ශබ්ද රසයට ගැළපෙන්න ඕනි නිසාද කොහෙද හැම දේම කළේ මකරෙක් වගේ තමයි. පොඩ්ඩක් ඇත්නම් කේන්ති යන ,ඒත් ඉතින් ගැරඬි උත්තමයා ඉස්සරහා හුරතල් වෙන එයාට මකරා කියන නම හැරෙන්න තවත් නමක් නම් ගැළපෙනවද මන්දා..
කොහොමින් කොහොම හරි ගැරඬියා ක්ලෙයාරාගේ නිසල දේහය ඉස්සරහට වෙලා යට ගිය අතීතය සිහිපත් කර කර ඉන්න අතරතුරේදි එක් වරම වගේ කවුදෝ ඇවිත් එයාගෙ උරහිසට අත තිබ්බම එතුවක් වෙලා අර කල්පනා ලෝකයේ තනි වෙලා උන්නු එයා ඒ කල්පනා ලෝකයෙන් මිදිලා පියවි සිහියට ආවා. එයා එහෙම්මම පිටිපස්සට හැරිලා බලද්දි එයා එක්ක හිනා වී ගෙන උන්නේ ටිකක් මහත කොට තට්ටෙ පෑදුණු පිරිමි කෙනෙක්. බැලූ බැල්මට නම් අවුරුදු හැටත් පැනලා. මිගාන් එහෙම්මම හැරුනු විගසම වගේ ඒ මනුස්සයා දිහාවට හෙළුවේ පුදුම සහගත බැල්මක්..
" මිස්ටර් ඩිනෝ.. මාව අඳුනගන්න පුළුවන්ද..? "
ඒ පිරිමි කෙනා කොල්ලත් එක්ක හිනා වෙලා හරි ප්‍රසන්න විදිහට ඇහුවා. ඒත් ඉතින් මිගාන්ට නම් එයාව අඳුනගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. කොල්ලා එයා දිහා බැලුවේ ඇස් උඩ තියාගෙන..
" මං film director චන්ද්‍රන් විග්නේෂ්වරන්.. මිස්ටර් ඩිනෝට මාව මතක නැතුව ඇති.. මගේ films කිහිපයකම වගේ production එකේ වැඩවලට උදව් කලේ සමරදිවාකර group එකෙන්.. මිස්ටර් ඩිනෝගෙ parents ලා ලංකාවෙ ඉන්න කාලෙ ඉඳන්ම වගේ මං එයාලත් එක්ක වැඩ කළේ.... "
චන්ද්‍රන් ඒ විදිහට දිග හෑල්ලක් කියාගෙන යද්දි කොල්ලා හරිම සාවධානව ඒකට ඇහුම්කන් දුන්නා. කවුරු කොහොම කොයි විදිහට කතා කළත් කතා කරන විදිහ වැදගත් නම් විතරයි ඩිනෝ මිගාන් සමරදිවාකර ඒ කතාවට ඇහුම්කන් දෙන්නේ. නැත්නම් ඉතින් ජනාධිපති ඇවිදින් මොන වැල් බයිලා ගැහුවත් එයා නෙවෙයි ඇහුම්කන් දෙන්නේ..
එයා චන්ද්‍රන් මහත්තයගේ කතාවට ඇහුම්කන් දී ගෙන ඉඳලා එයත් එක්ක යාන්තමට හිනා වෙලා ප්‍රසන්න විදිහට කතාවට වැටුණා.
" ආහ්.. එහෙමද.. මට ලොකු මතකයක් නම් නෑ.. සමහර විට මං ඒ දවස්වල මේවට සම්බන්ධ නොවුනු නිසා වෙන්න ඇති... "
" අහ්.. ඒක තමයි. මං ඉස්සර මිස්ටර් සමරදිවාකරලගේ ගෙදර ඇවිල්ලා තියෙනවා.. එතකොට නම් මිස්ටර් ඩිනෝ හරි පොඩියි.. මං හිතන්නේ අවුරුදු පහළවක් දාසයක් වගේ ඇති... "
" ආ.. ඒක තමයි... "
" මට මේ ඒ කාලේ දැකලා හැඩරුව මතක තිබ්බ හින්දමයි මිස්ටර් ඩිනෝව අඳුන ගත්තේ... "
චන්ද්‍රන් මහත්තයා එහෙම කියලා බැලුවේ ක්ලෙයාරාගේ නිසල දේහය දිහා. ක්ලෙයාරාගේ නිසල දේහයේ මූණ කළුතලා වෙලා. මූණේ දෙකම්මුල් නිල් පැහැ වෙලා. මැලවුණු මලක් වගේ ක්ලෙයාරා ඒ මරණයේ සයනයේ වැතිරිලා ඉන්නවා.
" බලන්න මිස්ටර් ඩිනෝ.. කවුද හිතුවෙ මේ දරුවට මෙහෙම දෙයක් වෙයි කියලා... "
චන්ද්‍රන් මහත්තයා ඇස් අඩවන් කරන් දුක්බර මුහුණින් ක්ලෙයාරාගේ නිසල දේහය දිහා බලාගෙනම කියද්දි ආයෙමත් වතාවක් මිගාන්ගේ ඇස් ඒ දිහාවට යොමු වුණා. මිගාන් ඒ දේහය දිහා බලාගෙන ලොකු හුස්මක් අරන් පිට කළා.
" අපි හැමෝටම එහෙම තමයි මිස්ටර් චන්ද්‍රන්.. වෙලාව ආවම යන්න වෙනවා... "
එයා කිව්වෙ ඒ දේහය දිහා ඇසිපිය නොහෙලා බලාගෙනමයි . එයා චන්ද්‍රන් එක්ක කතාවට වැටිලා ඉන්න අතරතුරේදි ජේකබ් හෙමින් සීරුවේ ළඟා වෙන්න වුණේ එයාගෙ හිත හොරකම් කරලා දැන් මරණය තුරුළට ගිහින් ඉන්න ඒ අපූර්වතම ගැහැණියගේ නිසල සිරුර දකින්න.. බලන්න බැරි වුණත් එයාට නොබලා ඉන්නත් බෑ.. පහසට ලොල් වෙලා ඇරඹුණු ඒ කෙටි කාලීන සබැඳියාව දැන් වෙද්දි ආදරයක් වෙලා ඉවරයි. එයා ඒ නිසල සිරුර දිහා බලාගෙනම ඒ දේහය කිට්ටුවට ආවා.
යටට ගිලිලා ගිහින් තියෙන ඒ ඇස් තාමත් ආදරණීයයි. හැඟීමක් නැති ඒ කළුතලා වෙලා ගිය සුදුමැලි මූණ හරි අහිංසක පෙනුමයි. ස්පර්ශ කරලා බදාගෙන අඬන්න හිතුණා වුනත් එයාට ඒ දේ කරන්න බෑ. කරන්න බෑ නෙවෙයි එයාට ඒ දේ කරන්න මේ ලෝකයෙන් අවසර නෑ.
රහසින් ආදරේ කළාට මොකද හැමෝම ඉස්සරහා අඬන්නවත් එයාට අයිතියක් නෑ. එයාට පුළුවන් එකම දේ වුණේ රහසින්ම අඬ අඬා හූල්ලන එක විතරමයි. ජේකබ් ඒ ප්‍රාණය නිරුද්ධ නිසල වූ දේහය දිහා බලන් උන්නේ අසරණ බැල්මකින්. එයාට කරකියාගන්න දෙයක් තිබුණෙම නෑ. ඉතින් ජේකබ්ට ඉතුරු වෙලා තිබුණු එකම දේ වුණේ ඒ දේහය දිහා ඔහේ බලන් ඉන්න එක විතරමයි.
ජේකබ්ගේ ඇස් බොඳ වෙලා. ඇස් කෙවෙනි අස්සෙ කඳුළු පිරිලා. කාටත් නොපෙනෙන්න එයා ඒ නිසල සිරුර කිට්ටුවට ඇවිත් හෙමින් සීරුවේ ක්ලෙයාරාගේ දෙපා දෙක ස්පර්ශ කළේ වෙව්ලන දෑත්වලින්. එතන තිබුණු වාතාවරණයත් එක්ක කාටවත්ම ඒ ගැන නිනව්වක් තිබ්බෙ නෑ. ජේකබ්ගේ ඒ දෙපා ස්පර්ශ කළේ බියෙන් වගේ..
අත් විතරක් නෙවෙයි එයාගේ දෙතොල් පෙති පවා වෙව්ලන්න වුණා. බියකටත් වඩා ඒ හිත අස්සෙ ගුලි ගැහිලා කැකෑරෙමින් තිබුණු සංවේගය නිසා එයාගේ මුළු සර්වාංගයම වෙව්ලන්න වුණා.
එයාට කතා කරගන්න බෑ. වචන පිටවෙන්නෙත් නෑ. ඒත් එයා යාන්තමට වචන දෙක තුනක් මිමිණුවේ කාටත් නෑහෙන ගානට රහසින් වගේ..
" ක්ලෙයාරා.. මගෙ ක්ලෙයාරා..මගේ ආදරේ ඉපදුණු තැනදිම මැරුණා ක්ලෙයාරා... "
එයාට කියන්න පුළුවන් වුණේ එච්චරමයි . එයාගේ උගුර අස්සෙ හිර වෙලා තිබුණු හීනි ඉකියක් එයාට තවත් නම් කතා කරන්න තරම් ඉඩක් හසරක් වෙන් කරලා දුන්නේ නෑ. ඒ ඉකිය පිට වෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි ස්පර්ශ කරපු දෙපා මොහොතකට අත් හැරලා ජේකබ් එතන උන්නු පිරිස අතරින් එහෙම්මම එළියට යන්න ගියේ ඇස් කෙවෙනි අස්සෙ එතුවක් වෙලා හිරවෙලා නලියමින් තිබුණු කඳුලු බිඳු කම්මුල් දිගේ රූරා ගලා වැටෙද්දී..
ජේකබ් එහෙම්මම ඇවිත් ගොඩ වුණේ ජීප් එකට. දැන් ඉතුරු වෙලා තිබුණු එකම දේ වුණේ සුක්කානම අස්සෙ ඔළුව ගහගෙන අඬන එක විතරක් වෙද්දි එයා ඒ දේ කළා. ඔව්, එයා ජීප් එකට වෙලා ඇස් බිමට හරවගෙන සුක්කානම අස්සෙ ඔළුව ගහගෙන කාටත් නෑහෙන ගානට කාටවත්ම නොපෙනෙන විදිහට ඉකිබිඳින්න වුණා.
සත්සිඳු උන්නේ මහරගම ක්ලෙයාරාගේ නිවසට එන ගමන්. එයා ත්‍රීවීලර් එකේ එන ගමන් ත්‍රීවීලර් එකේ ඩ්‍රයිවර් එක්ක කතාවට වැටුණා.
" අයියේ.. අර මේ.. ක්ලෙයාරා තොම්සන් කියන්නේ.. අර පිහියකින් ඇනලා නැති වුණු නිළිය... "
" ඔව් මල්ලි... "
" අහ්.. අන්න එයාලගේ ගෙදරට යන්න ඕනි... "
" අහ්.. හරි මල්ලි... "
ඩ්‍රයිවර් එහෙම කියන ගමන්ම ඉස්සරහා බලාගෙනම drive කරන්න වුණා. සත්සිඳුත් ගමන් කළේ වටපිට බලන ගමන්. ඒ අස්සෙ ටික දුරක් යද්දි ආයෙමත් වතාවක් ත්‍රීවීලර් එකේ ඩ්‍රයිවර් හඬ අවදි කළේ කොල්ලගේ අවධානය බිඳිමින්.
" මල්ලි ක්ලෙයාරා තොම්සන් ව දන්නවද..? "
ඩ්‍රයිවර් ඇහුවේ අමුතු ප්‍රශ්නයක්. කොල්ලා ඒත් එක්කම ඩ්‍රයිවර්ගේ මූණ දිහා ත්‍රීවීලර් එකේ ඇතුළේ තිබුණු mirror එකකින් බැලුවේ සැකෙන් වගේ. ඒත් ඒ මනුස්සයගේ මූණේ එහෙම සැක හිතන්න පුළුවන් විදිහේ බැල්මක් නැති තැන කොල්ලා ඒ අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න වුණා.
" මං නම් දන්නෙ නෑ.. ඒත් මගෙ යාළුවෙක්ගේ යාළුවෙක් එයා.. ඒකයි මං යන්නේ... "
කොල්ලා හරි ප්‍රසන්න විදිහට උත්තර දුන්නා.
" ඒකට මල්ලි.. ඔය ගෑණි ඉන්නකන් කළේ අනුන්ගේ පවුල් විනාස කරපු එක.. පවුල් කීයක් නම් කඩන්න ඇතිද.. ඒවා තමා මල්ලි ඔය පලිසන් දුන්නේ.. ඕවා හෙණ ගහන අපරාධ.. දිට්ඨධම්ම වේදනීය කර්මෙ කියන්නෙ ඕකට මල්ලි... "
මැරුණු ගැහැණියට තවත් දොස් නගලා මොනා කරන්නද.. මළ පසු නින්දා තබා ප්‍රශංසාවත් කුමටද.. ක්ලෙයාරා තොම්සන්ට ලෝකයක් දොස් නැඟුවත් කොල්ලා එකම එක වචනයක්වත් ඒවාට කිව්වෙ නැත්තේ ඒ දේවල් වලට අනුබල දෙන්න ඕනි නැති නිසා. ගිය දේ ගියා . වුණ දේ වුණා. ඉතින් තවත් ප්‍රශස්ති අවැසි නැති බැව් සත්සිඳු දන්නවා. ඉතින් ඒ කිසිම දේකට කිසිම උත්තරයක් නොදී එයා නිහඬවම උන්නා.
මහරගමට ඇවිත් ක්ලෙයාරා තොම්සන් ගේ නිවස කිට්ටු වෙනතුරුම සත්සිඳු උන්නේ ආවා වගේම සුපුරුදු ගොළුවත රකිමින්. ගේ ළඟට ඇවිත් ත්‍රීවීලර් එක නතර කළාට පස්සෙ එයා මුලින්ම කළේ බහින්නත් ඉස්සර ඒ ගේ දිහා බලපු එක.
අද්භූත පෙනුමැති කළුවරට හුරු ගෙයක් ඒක. සත්සිඳු ඒ ගේ දිහා බලාගෙනමයි ත්‍රීවීලර් එකෙන් බැස්සෙත්. බැහැලා අතේ තිබුණු රුපියල් 5000 නෝට්ටුව ඩ්‍රයිවර් අතේ තිබ්බම එයාට ඉතුරු ගාන දීලා විනාඩියට දෙකට ඩ්‍රයිවර් යන්න ත්‍රීවීලර් එකත් හරවගෙන යන්න ගියා.
සෙනඟ හෝ ගාලා පිරිලා. දන්න නොදන්න මුහුණු ගොඩක්.. කොල්ලගේ හිතට පොඩි චකිතයකුත් ආවා. ඒත් කිසිම වෙනසක් නොපෙන්වාම එයා gate එකෙන් ඇතුළු වෙලා හෙමින් සීරුවේ වට පිට බලන්නෙ නැතුවම ගිහින් ඒ ගේ ඇතුළට ගොඩ වුණා.
මීළඟ කොටසට ...