ඇවිල්ලා උන්නු දහස් ගාණක් වගේ පේන සෙනඟ කන්දරාව අස්සෙන් සත්සිඳු හෙමින් සැරේ රිංග රිංග ක්ලෙයාරාගේ නිවස අස්සට ගොඩ වුණා. පේන පේන හැම තැනකම වගේ උන්නේ සුදු ඇඳ ගත්තු මිනිස්සුමයි. පෙළක් මූණු නම් එදිනෙදා tv එකේ පේන මූණු.. තවත් සමහරක් මූණු නම් ඉතින් එයා ජීවිතේටවත් දැකලා නැති මූණු..
දන්න නොදන්න මූණු අතරේ එයා යාන්තමට වගේ ඇස් කරකව කරකවා හොයන්න ගත්තේ සුපුරුදු රුව.. එයා එතන ඉන්න බව කොල්ලා කොහොමත් දන්නවා. සෙනඟ අස්සෙන් රිංග රිංගා ක්ලෙයාරාගේ නිසල සිරුර අසළට කිට්ටු වෙන ගමන් එයා ඇස් එහෙ මෙහෙ යව යවා මිගාන්ගේ රුව හෙව්වත් එයාව ඒ ඉන්න පිරිස අතරේ හොයා ගන්න එක නම් ලේසි පහසු රාජකාරියක් නෙවෙයි.
කොල්ලා සෙනඟ අස්සෙන් ගිහින් ක්ලෙයාරාගේ නිසල සිරුර අසළට ළං වෙලා මොහොතක් ඒ දිහාවට ඇස් යොමාගෙන උන්නා. එයා දන්න හඳුනන මිනිස්සු කොච්චර එතන උන්නත් මොකද එයාව දන්න හඳුනන බලු බල්ලෙක්වත් එතන නැති කොට කොල්ලට දැනුනෙම පුංචි චකිතයක්. ඒත් ඉතින් වෙන දෙයක් වෙද්දෙන් කියලා එයා ක්ලෙයාරාගේ ප්‍රාණය නිරුද්ධ නිසල දේහය දිහා ඇස් පිල්ලම් නොගසාම ඔහේ බලාගෙන උන්නා.
වෙනදා රූපවාහිනියෙන් හරි රිදී තිරයෙන් හරි දකිද්දි ඒ මූණේ තිබ්බ අර අමුතු සෞන්දර්ය ක්ලෙයාරාගෙන් ගිලිහිලා ගිහින්. ඒ වෙනුවට තිබුණේ සුදුමැලි වෙලා මැලවිලා ගිය මලක පෙනුමක්..
කොච්චර ලෝකයාගෙන් නින්දා ප්‍රශංසා ලැබුවත් , කොච්චර සම්මාන ලැබූවත් ඒ කිසි දෙයකින් කොහෙද අද ප්‍රයෝජනයක්.. ක්ලෙයාරා තොම්සන් කියන්නේ මේ වෙද්දි ප්‍රාණයක් නැති සිරුරක් විතරයි. ජීවත් වෙන තුරු නානාප්‍රකාර විච්චූරණ එක්ක ජීවත් වුණු ක්ලෙයාරා තොම්සන් ට අද වෙද්දි උරුම වෙලා තියෙන එකම දේ එයා සැතපිලා ඉන්න මිනී පෙට්ටිය විතරමයි.
ඒ නිසල සිරුර දිහා බලාගෙනම සත්සිඳු නතර වුණේ නිමක් නැති කල්පනාවක . ලෝකයේ මොනාද එක අතකට ස්ථීර.. ස්ථීරයි කියලා දෙයක් ලෝකයේ තියෙනවද.. මොන තරම් විච්චූරණ කළත් අවසානයේ යන්න වෙන්නේ මේ වගේ නේද.. කොල්ලගේ ඔළුවට ඒ මොහොතෙදී ගලන් ආව දහම් කරුණුවල නම් සීමාවක් නෑ. පුංචි කාලේ දොඩන්දූවේ පන්සලේ සාදු කියා දුන්නු දහම් කරුණු හෝ හෝ ගාලා මුහුදු රැල්ල වෙරළට ගසා ගෙන එන වේගෙන්ම කොල්ලගේ ඔළුවට ගලන් එද්දි එයා ආයෙමත් වතාවක් ඒ හිර වෙලා උන්නු අමුතු ලෝකයෙන් මිදිලා පියවි සිහියට ආවා.
එයා ක්ලෙයාරාගේ නිසල දේහයට අත් දෙක එක්කහු කරලා වැඳලා එතන උන්නු සෙනඟ අස්සෙන් එළියට යන්න ආවා. ඒ යන්න හදද්දිම වගේ එක පාරටම දොරකඩට යනවත් එක්කම එයාගෙ පිටිපස්සෙන් ඇවිත් උරහිස උඩ කවුදෝ මන්දා අතක් තියනවත් එක්කම කොල්ලා ගැස්සිලා ගියා. තිගැස්සුණු සත්සිඳු එහෙම්මම හැරිලා බැලුවේ වික්ෂිප්ත දෑසින්..
ඒත් ඉතින් බය වෙන්න කාරණා මොකටද.. ඒ උන්නෙ ඉතින් අර ආපූ මොහොතේ ඉඳන් එයා මෙතුවක් වෙලා හොය හොයා උන්නු රුව.. ඔව් , ඒ අර ඩිනෝ මිගාන් සමරදිවාකර කියන නපුරු ගැරඬියා . සුදු පාට අත් දිග ලිනන් ෂර්ට් එකට නිල් පාට ඩෙනිමක් ඇඳලා.. ඒ ෂර්ට් එකෙත් උඩ බොත්තම් දෙක තුනක්ම විවර වෙලා තිබුණේ පපුව නිරාවරණය වෙන විදිහට.. කලින් දවසේ රෑ ඒ පපුවට තුරුළු වෙලා උන්නු හැටිත් ඉතින් කොල්ලට මතක් වුණේ නැතුව නෙවෙයි. ඒ ලිනන් ෂර්ට් එකේම රඳවගෙන උන්නු කළු පැහැති sunglass දෙක.. එයාගේ හිසේ සිට පාදාන්තය දක්වාම වගේ ඇස් අරන් ගියපු කොල්ලා ඊළඟ තත්පරේ ආයෙමත් පැටළුනේ ගැරඬියගේ ඇස් එක්ක.. ඒ ඇස් දෙකත් හිනා වෙනවා. මූණේ තියෙන හරි ලස්සන සෞන්දර්යාත්මක හිනාවට අමතරව ගැරඬි උත්තමයා ඇස්වලින් පවා හිනා වෙනවා.
ගාණට trim කරලා layers දෙකකට වෙන්න කපලා තිබුණු රැවුල ගැරඬි උත්තමයට එක්කහු කළේ පුදුමාකාර කඩවසම් බවක්. ඒ කඩවසම් රූපය කලින් දවසෙදිත් දැක්කා වුනාට මොකද මේ තරම් ලස්සනට නම් පෙනුනේ නැද්ද කොහෙද.. එයා හරියට රාජ කුමාරයෙක් වගේ. සුදු පාට ඇන්දම එයා හරි හැඩයි. පින් පාටයි. ඒ සුදු පාට ඇඳුමත් එක්ක ඒ අහිංසක පාට ඒත් ආඩම්බරකාර හිනාව එක්කහු වුනාම මැවෙන පිරිමිකමට සත්සිඳුගේ හිත දැන් දැන් ඒ අස්සෙත් ලෝභ කරන්න වුණා.
මළ ගෙවල් පැත්තක දාලා කොල්ලට හිතුණෙම ගැරඬියව බදා ගන්න. හොඳට හිටියි හැබැයි.. ඒ දහසකුත් සෙනඟ කන්දරාව අස්සෙ ගැරඬියත් එක්ක වෙලෙන්න ගිහින් දෙන්නටම වෙන්නේ නීච කූලයට ඇද වැටෙන්න තමයි.
මිගාන් නම් හිනා වී ගෙනම බලන් ඉන්නවා. අර මෝඩ හත්තිලව්වට ඉතින් ගැරඬි උත්තමයාව දැක්කත් හරි උඩට ගත්ත හුස්මත් පහත හෙළන්න අමතක වෙලා වගේ ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නා. ගැරඬි උත්තමයා හිනා වී ගෙනම කොල්ලට කතා කළා.
" babybabe... ඔයා දැන්ද ආවේ..? "
ගැරඬියා අර සුපුරුදු හිනාව මූණේ රඳවගෙනම කොල්ලගෙන් ඇහුවා.
" ස්..සර්... "
කොල්ලා තතනනවා. ගොත ගගහා වගේ කොල්ලා කතා කළේ ගැරඬියාව දැකලා පුදුම වෙලා.. පුදුම වෙලා කියන්නෙ ඉතින් ඒ ගැරඬි උත්තමයගේ සුන්දර රූපශ්‍රීය දරාගන්න බැරුව..
" සර් සර් නෙවෙයි.. මං ඇහුවේ දැන්ද ආවෙ කියලා... "
" ඔ..ඔව්... "
" මොකෝ මේ.. යකෙක් දැකලා වගේ නිකන්... "
යකෙක් දැකලා නම් නෙවෙයි.. ඒ විපර්යාසයට හේතුව ඉතින් ගැරඬි උත්තමයා කියලා කොහොඅ නම් කියන්නද..
" එ..එහෙම මොකුත් නෑ..සර් දැන්ද ආවේ... "
" නෑ දරුවෝ.. උදේ වගේ ආවෙ මං.. අද භූමදානය කරනවනේ.. ඉතින් අද දවසම මෙහේ තමා ඉන්න වෙන්නේ... "
" අද...! "
කොල්ලා පෙරළා ප්‍රශ්න කළේ ඇස් දෙකත් උඩ දාගෙන.
" ඔව් දරුවෝ.. අද අවසන් කටයුතු කරනවා.. ක්ලෙයාරාගේ කියලා කිසි කෙනෙක් funeral එකට ආවෙ නෑ.. ඉතින්, අපි මොනා කියලා කරන්නද.. තවත් දවස් දෙක තුනක් තියාගන්න අමාරුයිනේ.. ඒ හින්දා අදම භූමදානය කරනවා... "
මිගාන් සත්සිඳු දිහා බලාගෙනම කියාගෙනම ගියා. සත්සිඳු බලන් උන්නේ මිගාන්ගේ ඇස් දිහා. ඒ ඇස්වල තිබුණේ හරියට වගකීම් සහගත බැල්මක්. ඒ හරියට එයා වගකීමක් ඉෂ්ඨ කරන්න බැඳිලා ඉන්නවා වගේ පෙනුමක්..
ඉස්සර දවස්වල සිද්ද වෙච්චි දේවල් එක්ක ඒ මතකයෙන් මිදෙන්න අමාරුම තැනයි මිගාන් ක්ලෙයාරා තොම්සන් ගේ මරණයේ අවසන් වැඩ ටිකට අත ගැහුවේ. එයාට ඒ අතීතයෙන් මිදෙන්න බෑ. මිදෙන්න බෑ කියන්නෙ එයාට ඒ දේවල් අමතක කරන්න අපහසුයි. ඒ දේවල් ගැන මිගාන්ට දැනෙන්න ගත්තෙම මහා වරදකාරී හැඟීමක් නිසා ඒ වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් විදිහට හිතලයි එයා ඒ මරණයේ අවසන් කටයුතුවලට සම්බන්ධ වුණේ..
ඒත් මිගාන්ගේ හිත නම් හොල්ලන්නවත් බෑ. ඒ හිත අස්සෙ ඉන්නෙම අර කටකාර අහිංසකයා විතරමයි .
මිගාන් ඔය එක එක ඒවා ගැන කියවද්දි ඉතින් කොල්ලගේ හිතට පුංචිම පුංචි ඊර්ෂ්‍යාවකුත් ආවෙ නැතුව නෙවෙයි. ක්ලෙයාරා ගැන කියද්දි ඒ අංගනාව දැන් ජීවතුන් අතර නැති වුනත් සත්සිඳුට හෙණ ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒත් ඉතින් දැන් දැන් ඒ ඊර්ෂ්‍යාවත් නැති කර ගෙනම කොල්ලා යාන්තමට කාටත් නොපෙනෙන ගානට වගේ මිගාන්ගේ ඇඟේ ගෑවී නොගෑවී ඉන්න වුණා.
" නෙස්කැෆේ එකක් බොන්න යමුද..? "
මිගාන් ඇහුවේ කොල්ලගේ අතකුත් අල්ලගෙනමයි . කොල්ලා පැත්තකින් වගේ හිස ඔසවලා යාන්තමට මිගාන් දිහා බලලා හිනා වුණා.
" දැන්..? "
" හ්ම්.. යං... "
එයා එහෙම කියලා කොල්ලවත් අතින් ඇදගෙන අර පිරිලා උන්නු සෙනඟ කන්දරාව මැද්දෙන් එක්කගෙන ගිහින් නෙස්කැෆේ කප් දෙකක් අතට අරන් එයින් එක නෙස්කැෆේ කප් එකක් කොල්ලගේ අතට දුන්නා. ගැරඬියා දිහා බලලා හිනා වෙලාම කොල්ලා ඒ නෙස්කැෆේ කප් එක දෝතින්ම ගත්තා.
කොල්ලගේ අතත් පිච්චුණේ ඒ නෙස්කැෆේ කප් එක උණුම උණු හින්දා.. නෙස්කැෆේ කප් දෙකත් අරන් දෙන්නත් එක්කම ගිහින් එළියේ හදලා තිබිච්ච හට් එකේ පුටු දෙකක වාඩි වුණා. මිගාන්ගේ පුටුවට අල්ලපු පුටුවේ සත්සිඳු.. දෙන්නම එක ළඟ..
ඒ හට් එක ඇතුළේ වාඩි වෙලා උන්නු ලංකාවේ ජනප්‍රියම තලයේ අංගනාවෝ ටිකගේ ඇස් ටිකෙන් ටික ටිකෙන් ටික ඩිනෝ මිගාන් සමරදිවාකර පැත්තට කැරකෙන්න ගත්තෙ හරියට ප්‍රදීපාගාරයක ආලෝක කිරණක් වගේ.. ඒත් ඉතින් මිගාන්ට නම් ඒවයේ කිසි ගානක් නෑ. එයා ඔහේ නෙස්කැෆේ කප් එකට පිඹ පිඹ හිස් කරන්න වුණා.
ඒත් ඉතින් අර අංගනාවෝ ටික නම් කොල්ලව හිත අස්සෙන් නිරුවත් කරන ගමන්ද කොහෙද උන්නෙ . එයාලගේ ඇස් කැරකෙන්නේ මිගාන්ගේ දිහාවට කියලා තේරුම් ගන්න සත්සිඳුට එච්චර වෙලාවක් ගියේ නෑ. එතන උන්නු හැම කෙල්ලෙක්ම වගේ මිගාන් දිහා බලද්දි ඉතින් සත්සිඳු කොලුවට මාරම ඊර්ෂ්‍යාවයි.
නෙස්කැෆේ කප් එකටත් වඩා කොල්ලගේ මූණ කේන්තියෙන් රත් වෙලා තියෙන හැටි දැක්කම මිගාන්ට හිනාත් ගියා. ඒත් කොල්ලා මිගාන් දිහාත් බැලුවේ රවලා වගේ.
" මොකෝ මට රවන්නේ..? "
" රවන්නෙ.. රවන්න නෙවෙයි තියෙන්නෙ මරන්න... "
" මාව...! අර මොනා කළාටද..? "
" අර ගෑණු ටික බලනවා වැඩියි හොඳේ.. බලන්නෙ එහෙම නෑ නිකමටවත් හැරිලා එහෙම... "
" ආ... ඒකද මේ..? "
" ඒක තමයි... "
කොල්ලා මූණ කොරහක් වගේ කරගෙන නෙස්කැෆේ කප් එකට පිඹින ගමන් තව උගුරක් බිව්වා.
" මං ඉතින් handsome නේ.. ඒකයි ඉතින් ඔය බලන්නේ.. කොහෙද ඉතින් , උන්ට තේරෙන දේ අල්ලපු පුටුවේ ඉන්න හිකණලාට තේරෙන එකක් කියලයැ... "
එයා කිව්වෙ රහසින් වගේ. කොල්ලා එහෙම්මම හැරිලා බැලුවේ ගැරඬියගේ මූණ දිහා.
" මොකක්ද කිව්වෙ... "
" ඇයි බොරුද.. මගෙ අගයක් නෑනේ ඉතින්... "
" මං එහෙම කිව්වෙ නෑනේ... "
" ඒ කියන්නෙ වටිනවාද ? "
මිගාන් ඇහුවේ ඒ මූණට එබෙන ගමන් වගේ. ඒත් සත්සිඳු නෙවෙයි එයා දිහා බැලුවෙවත්. කොල්ලා අර උණුම උණු නෙස්කැෆේ එකට පිඹ පිඹ තොල ගාන්න පටන් ගත්තා. එයා නම් නිහඬම නිහඬයි. ගොළුවත රකින ගමන් එයා නෙස්කැෆේ එක තොල ගාන්න වුණේ මිගාන් දිහා බලන්නෙම නැතුව..
" වටින්නෙ නෑනේ ඒ කියන්නේ... "
මිගාන් නෝක්කාඩුවෙන් වගේ කියලා එයාගෙ අතේ තිබුණු නෙස්කැෆේ කප් එකත් පිඹ පිඹ තොල ගාන්න වුණා.
එතන ඉඳන් තිබුණෙම ලොකු නිහඬතාවයක් විතරමයි. දෙන්නම උන්නේ නිකන් තරහා වෙලා වගේ. මිගාන් සත්සිඳු දිහාවත් , සත්සිඳු මිගාන් දිහාවත් බැලුවේ නෑ. ඒ වුනාට මොකද මිනිත්තු ගානක් යද්දිම වගේ අර අංගනාවෝ ටික ආයෙ ආයෙමත් ඇස් කරකව කරකවා මිගාන් දිහා බලද්දි නම් ඉතින් කොල්ලට ඉවසුම් නෑ. කරන්න දෙයක් නෑ.. ඒ අංගනාවන් පර්ෂදයෙන් කොල්ලව බේරා ගන්න නම් සත්සිඳුට කරන්න තිබුණේ එකම දෙයක් විතරයි.
ඔව්, එයා ඒ දේ කළා. එයා එහෙම්මම මිගාන්ගේ අතේ එල්ලුණේ මිගාන්ට නොදැනෙන ගානට. ඒත් මේ ආශ්චර්යය මොකක්ද කියලා බලන්න වගේ සත්සිඳු අතේ එල්ලුණු හැටියෙම වගේ මිගාන් එයා දිහාවට ගෙල හරවලා බැලුවාම සත්සිඳු එයා දිහා බලන්නෙ නැතුව ඉස්සරහා බලාගෙනම උන්නා.
" මටත් වටිනවා හරිද... "
එයා එහෙම කිව්වෙ ඉස්සරහා බලාගෙනමයි . සත්සිඳුගේ මූණ දිහා බලලා මිගාන් කට කොණකින් අමුතු හිනාවක් දාලා ඉස්සරහා බලාගත්තේ හරියට නිකන් ජයග්‍රාහී විලාසයකින්.
පුංචිම පුංචි ස්පර්ශයක් පවා ජීවිතේ සමහර තැන් හරි අපූරුවට වර්ණවත් කරනවා. ජීවිතේ කියන්නෙ කැන්වසයක් උඩ ඇඳෙන සරල රේඛාමය සිතුවමක් නම් ආදරේ කියන්නේ ඒ සිතුවම පාට කරන වර්ණයන්.. ඉතින් ඇත්තමයි , ජීවිතේ පාට කරන්නෙම ආදරේ..
වත්තට ඇතුළු වෙන වාහන එනවා යනවා. මිගාන්ගේ වාහනේ විතරක් පැත්තකින් නතර වෙලා. ඒ ඉසව්වෙම තවත් පුංචි පුංචි වාහන දෙක තුනක් නතර කරලා තිබුණා. ජේකබ් උන්නේ ජීප් එකට වෙලාමයි. එයාට තවත් ජීප් එකෙන් බැහැලා ගිහින් ආයෙමත් වතාවක් ක්ලෙයාරාගේ නිසල දේහය දිහා බලන්න ඕනි වුනත් එයාට එතනට යන්න තරම් ඒ හිත හයිය නෑ.
අඬන්න තරම් තවත් ඇස්වල කඳුළුත් නෑ. මොකද ආපු හැටියෙම වගේ කාටත් නොපෙනෙන්න සුක්කානම අස්සෙ ඔළුව ගහ ගෙන අඬපු එකමයි එයා කළේ.. ඉකි බිඳ බිඳ අර පුංචිම පුංචි කාලේ ඇතුළත ඒ දෙන්නා කොයි තරම් නම් ආදරෙන් උන්නද කියලා සිහිපත් කර කරම එයා තව තවත් අඬන්න වුණා. ඒත් කාටවත්ම නොපෙනෙන්න.. කාටවත්ම නෑසෙන්න..
මුළු ලෝකෙම එයාට පෙනුනේ බොඳ වෙලා ගිහින් වගේ. බොඳ වෙලා ගිහින් වගේ නෙවෙයි එයාගෙ මුළු ලෝකෙම බොඳ වෙලා.හිත එක තැනක නෑ. ජීප් එකට වෙලා ඔහේ හූල්ල හූල්ලා බලන් ඉන්න අතරතුරේදිත් එයාට ජීවිතේ ගැන දැනුනෙම මහා පාළු මූසල හිස් හැඟීමක්. හිත හරියට කූඩුවක් අස්සෙ දාලා හිර කරලා වගේ.
ඒ හිත එක් තැනක ඉඳන් තවත් තැනකට බිම දිගේ ඇදන් යනවා. මුළු හිතම හීරිලා. හරියට තියුණු කිණිසි අගකින් ඉහළ සිට පහළට පැලුම් පාරවල් අදිනවා වගේ. හිත අස්සෙ ඒ පෑරුණු තුවාලවලින් ලේ ගලනවා වගේ. එහෙව් හිතට කිසිම සැනසීමක් නෑ. මුළු හිතම රිදෙනවා. හිත විතරක් නෙවෙයි මුළු සර්වාංගයම හරියට අවතැන් වෙලා වගේ.
ඒ හිත වේදනාවෙන් මුමුණන්න ගත්තා. නිකන්ම නෙවෙයි , ඉකිබිඳුම් ස්වරයෙන්. ඒ හිතට ඒ වේදනාව දරාගන්නම බෑ.
' ක්ලෙයාරා.. ක්ලෙයාරා.. ඔයා යන්නම ගිහින් ක්ලෙයාරා.. ඔයා කවදාවත්ම එන්නෙ නෑ.. මං දන්නවා.. ඔයාට එන්නත් බෑ.. ඇයි ක්ලෙයාරා එහෙම කළේ..ඇයි..ඇයි ඒ.. මට වාවගන්න බෑ මගෙ රත්තරන්.. මගෙ මුළු හිතම පිච්චෙනවා..මේ ගින්න නිවාගන්න මට තේරෙන්නෑ ක්ලෙයාරා.. ඔයා අද යන්නම යනවා..ආයෙ.. ආයෙ කවදාවත්ම ඔයා එන්නෑ.. ඒත්.. ඒත් මං තනිවෙනවා ක්ලෙයාරා.. මං සදහටම තනි වෙනවා.. සදහටම... '
ඒ ජේකබ්ගේ හිත. ඒ බිඳුණු හිත මිමිණුවේ එහෙම.
ආදරේ කියන වචනයම වේදනාවක් වෙන කොට ඒ වේදනාව මිනිස්සුන්ට දරාගන්නම වෙනවා. නැත්නම් ජීවිතේ අසීරුම තැන් දරාගන්න මිනිස්සුන්ට කොහොමත් අමාරු වෙනවා. ආදරේ කියන්නෙ එහෙව් දෙයක්..
බිඳුණු හිත් සුවපත් කරන , සමහරක් හිත් බිඳ දමන මායාකාරී වචනයක් තමයි ආදරේ කියන්නෙම.
තත්පර ගෙවිලා යන්න වුණා. ඒවා මිනිත්තු වුණා. ඒ මිනිත්තු පැය වුණා. පැයෙන් පැය ගෙවිලා ගිහින් ඒ උදා වුණු නිමේෂය ක්ලෙයාරාට මේ ලෝකයෙන් සදහටම සමු අරන් යන්න උදා වුනු නිමේෂය.. ක්ලෙයාරාගේ නිසල දේහය රැගත් ඒ පෙට්ටිය වහන්න මොහොතකට ඉස්සර ලොකු පිරිසක් එතනට ආවා. සත්සිඳු ත් මිගාන් එක්කම ඇවිත් එතනට වෙලා උන්නේ එයාගේ නිසල දේහය දිහා සංවේගයෙන් බලාගෙන.
ජේකබ්ට එතනට ඇවිත් එකම එක මොහොතකට හරි එයාගේ ආදරණීයම ක්ලෙයාරාගේ නිසල දේහය දිහා බලන්න ඕනි වුනත් එයාට එන්න වාරු නෑ. මුළු සර්වාංගයම අවසඟ වෙලා වගේ. ඒත් ඒ උදා වෙන අවිනිශ්චිත තත්පරයෙන් පස්සෙ කොහොම නම් ක්ලෙයාරාව දකින්න කියලද.. ඒ වේදනාව එයාට දරාගන්න බෑ.
ක්ලෙයාරා ආයෙ කවදාවත්ම එන්නෙ නෑ. ජේකබ් ඒක දන්නවා. එයාට තවත් ඉවසන්න බෑ. තවත් සුළුම සුළු මොහොතකින් ක්ලෙයාරා මේ ලෝකයෙන් ඈත් වෙලා යන්නම යන බව මතක් වෙද්දිත් එයාගේ පපුවම හීරෙනවා. එයා ඉන් පස්සෙ කවදාවත්ම ඒ ඇස් මානයට නොඑන බව මතක් වෙද්දි නම් කොහොමත් හිත වාවන්නෙ නෑ.
ක්ලෙයාරාගේ නිසල දේහය රැගත් මිනී පෙට්ටිය වසාලන්න තිබුණේ තවත් මිනිත්තු කිහිපයක් විතරමයි. ජේකබ් ඇස් දෙකත් බොඳ කරන් ඒ ගේ දිහා ඔහේ බලන් උන්නේ මූණේ කිසිම හැඟීමක් නැතුව. ඒත් තවත් බලා ඉන්න බැරි තැන එයා එහෙම්මම ජීප් එකෙන් එළියට බැහැලා ඇවිත් උන්නු පිරිස අතරින් ඉක්මන් කරලා රිංග රිංගා වගේ ක්ලෙයාරාගේ නිසල දේහය අසළට ගියා.
ඒ මූණ දකිද්දි කොහොම නම් එයා හිත වාව ගන්නද.. එයාට දැනුනේ උහුළා ගන්න බැරි තරම් වේදනාවක්. ඒ වේදනාවත් එක්කම එයා හෙමින් සැරේ අවසන් වතාවට කාටත් හොරෙන්ම වගේ ක්ලෙයාරාගේ දෙපා අල්ලලා අත් දෙක එක්කහු කරලා වැන්දා.
මුළු හදවතම හරියට සුළි සුළඟකට ගසා ගෙන ගිහින් වගේ. හිත එයා ගාව නෑ වගේ. තවත් තත්පර කිහිපයකින් ක්ලෙයාරාගේ නිසල දේහය රැගත් ඒ මිනී පෙට්ටිය වැහෙන බව දැන දැනම එයා ඔහේ නිස්කාරණේ බලන් උන්නා. එයාගේ මූණේ මෙහෙමයි කියලා වෙන් කර ගන්න බැරි තරම් හැඟීම් කෝටියක් පිරිලා තිබුණා. කලින් වතාවේ හැඟීම් විරහිත වෙලා තිබුණු ඒ මූණේ ඒ මොහොතේ වෙන් කර ගන්න බැරි තරම් දුකක්, විරහවක්, කලකිරීමක්, පාළුවක්, හුදෙකලාවක්, කේන්තියක් වගේ අනන්ත වූ හැඟීම් ගණනාවක් ඇඳී ඇඳී මැකී යන්න වුණා.
හැමදෙයක්ම අවසානයේ ක්ලෙයාරාගේ නිසල දේහය අර මිනී පෙට්ටියේ පියන්පත් අතරින් වැසී යද්දි ජේකබ්ගේ ඇස්වලින් සට සට ගාලා වැටුණු හැම කඳුළු බිඳුවක්ම වගේ කම්මුල් දිගේ ඔහේ නිමක් නැතුව ගලාගෙන ගියා. ඒ දේහය එහෙම්මම මිනී පෙට්ටියේ පියන්වලින් වැහිලා ගිහින් ඇස් මානයෙන් ඈත් වෙද්දි ජේකබ් අත් දෙක එකතු කරලා වැඳගෙනමයි උන්නේ. එයාට තවත් දරා ගන්නම බැරි තැන එයා තද කරලා ඇස් පියන් වසා ගත්තා.
පියන්පත් අතරින් වැසී ගිය ක්ලෙයාරාගේ දේහය ඇස් මානයෙන් මැකී යද්දි මිගාන් උන්නෙ සංවේගයෙන් වගේ ඒ දිහා බලාගෙන. සත්සිඳු එයාගෙ අතක් අල්ලගෙන ඒ දිහා බලන් උන්නා. හැම කෙනෙක්ම වගේ හරිම නිහඬව ඒ දිහා බලන් උන්නා. හඬා වැලපෙන්න තරම් කෙනෙක් නොහිටියට මොකද ක්ලෙයාරාගේ field එකේ උන්නු යාළුවෝ කිහිප දෙනෙක් නම් යාන්තමට වගේ ඉකිබිඳින්න වුණා. ඒ වේදනාවෙන්මද කියලා හරියට නිශ්චය කරගන්න කාටවත්ම බැරි වුණා.
ඒත් ජේකබ් විතරක් හිත අස්සෙන් පුදුමාකාර විදිහට වැලපුණා. කෑ ගහලා අඬන්න බැරි තැන එයා දරා ගෙන උන්නේ පුදුමාකාර අපහසුවකින්. උගුර අස්සෙ හිර වුනු හීනි ඉකිය පිට වෙන්න ඔන්න මෙන්න..
මිනී පෙට්ටිය ඔසවන්න ඔන්න මෙන්න කියලා ජේකබ් එතනට ගියේ පෙට්ටියට කර තියන්න ඕනි නිසා. කවුරුවත්ම නැති විදිහට ජේකබ්ගේ ඇස්වලින් කඳුළු බිඳු නැවතුමක් නැතුව රූරා ගලාගෙන යද්දි එයා එහෙම්මම ඇවිත් ඒ පෙට්ටියට කර තිබ්බා. පෙට්ටියේ සිව් කොණින් ඔසවාගෙන ඇවිත් අවසන් කටයුතු වෙනුවෙන් පාංසකූලය දෙන්න ඉස්සර ඒක ආයෙමත් වතාවක් එළියෙන් මොහොතකට තැන්පත් කරලා තිබුණා.
ලෝකයේ බොහෝ ආදර කතා බොහෝ දෙනෙක් දන්නා නමුදු ජේකබ් - ක්ලෙයාරා ආදර අන්දරය ගැන දැනන් උන්නෙ ඒ දෙන්නම විතරයි. එහෙව් ආදරේ රහසක් විදිහටම තියාගෙන ක්ලෙයාරා මේ ලෝකෙන් යන්න ගියේ ඒ රහසත් එක්කමයි . ජේකබ් හැරෙන්න ඒ ආදරේ ගැන දන්නා තවත් කෙනෙක් මේ ලෝකයේ නැති තැන ජේකබ්ට හිතුණෙම මුළු ලෝකෙටම ඇහෙන්න ඒ ආදරේ කතාව කෑ ගහලා කියන්න.
දෙසිතක උපන් ප්‍රේමය උපන් ගෙයිම මියැදී වැලලී ගිය පසුත් එක් සිතක් පමණක් ඒ ප්‍රේමයේ ගැඹුර දැන දැන විඳවීමත් , ඒ ප්‍රේමාන්දරය ලොවට පවසනු නොහැකිව තැවීමත් කෙතරම් වේදනාවක්ද.. ආදරේ විප්‍රයෝගය එයද.. පශ්චාත්තාප විය යුත්තේ එයටද..
නෑ.. හදවත මිය ගියද ආදරේ මිය නොයනු ඇත. ඉතින් කුමටද තැවෙන්නේ.. හදවත පොළවට පස් වුවත් ආදරේ ආත්මය විසින් ජීවත් කරවනු ඇත. ඉදින් විප්‍රයෝගයෙන් නොතැවිය යුතුය.
එහෙත් ප්‍රේමය තරම් බරසාර දෙයක් නැති තැන පෙම්වතෙක් කොහොම නම් ඉවසන්නද.. ආදරය ඇති වෙන්න එකම එක තත්පරයත් ප්‍රමාණවත් වෙද්දි අසීමාන්තික නොවුන මුත් සීමාන්තික කාලයකට නතු වූ ආදරය ගැන ඒ පෙම්වතාට තැවෙන්නට ඉඩක් අවැසිමයි.
පාංසකූලය දීලා පැන් වඩලා අහවර වුනායින් පස්සෙ ආයෙමත් වතාවක් පෙට්ටියේ පියන් විවර කරලා ක්ලෙයාරාගේ නිසල දේහය හැම කෙනෙක්ටම දර්ශනය වෙන්න සලස්වපු මොහොතේ පවා ජේකබ් ඒ දිහා බලන් උන්නා. ඒත් ඒ මොහොතේ නම් එයා ඔහේ නිස්කාරණේ බලන් උන්නේ මූනේ කිසිම හැඟීමක් නැති ගානට. දුකක් හෝ වේදනාවක් ඒ මූණේ තිබුණේ නෑ. ඒ ඇස් රතු වෙලා හීනි වෙලා ගිහින් තිබුණා.
අවිනිශ්චිත ස්වරූපයක් විතරක් ඒ මූණේ ඇඳිලා තිබුණා. හැඟීම් විරහිත ඇස් යොමු වෙලා තිබුනෙම ක්ලෙයාරාගේ මූණ දිහාවට. ඒ සුදුමැලි මූණ දිහා ඒ ඇස් බලන් උන්නේ ඇහිපිල්ලමක්වත් නොගසාමයි.
ඊළඟ නිමේෂයේ ආයෙමත් ඒ පියන්පත් වැසී යද්දි ජේකබ් ඇවිත් ඒ පෙට්ටියට ආයෙමත් කර තිබ්බා. කාටත් නොපෙනෙන්න හිත අස්සෙන් වැලපෙමින් ගිහින් පෙට්ටිය අවමංගල රථයට ඇතුළු කරලා එයා එහෙම්මම ගිහින් ජීප් එකට නැගලා start කළා.
ඉස්සරහින් ඇදෙන ක්ලෙයාරාගේ නිසල දේහය රැගත් අවමංගල රථයට පිටුපසින්ම ජේකබ් ජීප් එක අරන් ගියේ තනියම නෙවෙයි. ජීප් එකේ පිටිපස්සෙ අසුන්වල මිගානුත් , සත්සිඳුත් වාඩි වෙලයි උන්නේ. රථ වාහන පේළියක්ම වගේ ඊට පිටිපස්සෙන් ඇදෙනවා. ඒවයේ උන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කලා තරු..
ක්ලෙයාරාගේ දේහය රැගත් අවමඟුල් පෙරහර ගමන් කළේ බොරැල්ල කනත්තට. සුවහසක් දෙන සැනසීමෙන් සැතපෙන ඒ බිම.. ඒත් ඒ බිමෙහි තිබුණෙම මහ පාළු මූසල ගතියක්..
කළුවරට හුරු අඳුරු පැහැ ගත් නිස්සාර භූමියක් වගේ එතන. සුවහසක් දෙන සැතපුනාට මොකද තිබුණෙම පාළුවක් විතරමයි. ගස් කොළන් නගන සිහින් සර සරය එක්ක එක්කහු කළේ අද්භූත ගතියක්..
ක්ලෙයාරා පොළවට මිහිදන් වුණා. ආයෙමත් ඔවුන් අතරට නොඑන්නට ඈ ඒ ගමන ගොස් අවසන්.. ජේකබ් ඒ වළට පස් පිඬක් දමලා එහෙම්මම එතනින් අහකට වුණේ අයිතියක් නැති ප්‍රේමයට සමු දෙමින්.
" මිනිස්සු මැරුණට ආදරේ මැරෙන්නෙ නෑ මගෙ මැණික... "
එයා තනියම මිමිණුවේ අනිත් අය ඒ වළට පස් පුරවද්දී. ඒ වළ වැහිලා ගිහින් ගොඩ වුණු සොහොන් කොත මත කවුදෝ මන්දා හිටෙව්වෙ සුදු අරලිය අත්තක්. තවත් තරුණියෝ කිහිප දෙනෙක් ඉටිපන්දම් දැල්වූවා. ජේකබ් ඔහේ බලන් උන්නේ සුපුරුදු හැඟීම් විරහිත විලාසයෙන්මයි.
අතොරක් නැති කළුවරකින් මුළු සැඳෑ අහසත් බොරැල්ල කනත්තේ සුවහසක් දෙන සුවෙන් සැනසීමෙන් සැතපෙන බිමත් වසා ගනිද්දි හැම කෙනෙක්ම ඒ බිමෙන් පිටව යන්න වුණා. ඒත් එකම එක්කෙනෙක් හැරෙන්න.. ඒ ජේකබ්..
ඒ කළුවරේම එයා එතනට වෙලා මොහොතක් උන්නා. එයා හෙමින් සැරේ අර හැඟීම් විරහිත විලාසයෙන් යුතු මුහුණෙන්ම ඇවිත් ඒ සොහොන් කොත අසළ දෙදණ බිම හොවා ගත්තා.
" ක්ලෙයාරා.. ඇහුණා නේද.. ම්.. මිනිස්සු මැරුණට ආදරේ මැරෙන්නෙ නෑ මගෙ මැණික.. මං ආදරෙයි මගෙ කෙල්ලේ.. එදත්.. අදත්.. හෙටත්.. පරිස්සමින් ඉන්න.. මං ගිහින් එන්නම්.. බුදු සරණයි...! "
මීළඟ කොටසට ...