WebNovels

Chapter 9 - 09

මං උන්නෙ සමුපකාරෙ ඇතුලෙ...සමුපාකාරෙට ඇතුල් උන කලාත්ම හාමු ගෙ අලුත් මූනුවර දිහාව විතරක් බලපු සමුපකාරෙ මහත්තයා හාමුට විතරක් හිනාවක් දීලා බේබිට පිට්පස්සෙන් ආව මා දිහාව බලලා රවාගත්තා....හරියටම උඹත් මේ අලුත් මහත්තයා පස්සෙ ආවෙ ඒ මහත්තයටත් වින කරන්නද වගෙ බැල්මක් ඒ ඇස් වල ලියවිලා තියනකොට අනෙ මං කරබාගෙනම ඇතුලට ගියා...අපිට කවදද හිනාවක් කැප.....රැවීම විතරක් කැප ජීවිතේකට අනුන්ගෙන් කියලා හිනාවක් ලැබුනා නම්....අමාවකට පායන හදක් වගේ තමයි....

මං නෙවෙ ආයම ඔලුවක් ඉස්සුවෙ...ඕන කරන ජාති දන්න මන සමුපකාරෙ ඇතුලෙ පරිස්සමට එහා මෙහා ඇවිද්දා....හොදද නරකද කියලා ආය අතකින් අල්ලලා වත් බලන්ඩ ගියෙ නෑ....වෙනමොකටවත් නෙවෙ කෑලි කීයකට බිදුනද කියලා හොයන්න බැරි හිත අස්සෙ අවුරුදුගානකට උඩින් ඇනපු පිහිපාරවල් වල තුවාල පවා තවම ලේ හලන ගමන් උන්න හන්දා....

ඔය ගන්න ජාති විතරක් අතපත ගාපන් ගන්නෙ නැත්තන් ඇස්වලින් විතරක් බලලා පලයන්.....ඔව්වා ඉතුරු උනොත් ආය මොක්කු ගන්නව කියලද....??

මීට දෑවුරුද්දකට ඉහතදි ඔය මහතැනම ආසාවට ගත්ත විස්කෝතු පැකට් එක ආපිට තියනවා දැකලා කියපු කියුමක් ඔය තියෙන්නෙ ..කිව්වට විස්වාසකරපල්ලා ඒ ඇනපු පිහිපාර තවම අමුවට මගෙ පපුව හාරවනවා...

මන් බලාගන කලාත්ම හාමු කැරකෙනවා.....පවුඩර් ටින් එකක් අරගන්නවා....පුසුඹ ඉවකරලා බලලා ආපිට නහය අකුලගන්නවා.....මයෙ හිතෙ බේබිට ඔය පුසුඹ සැර ඇති...මං ඔය සැර නැතිජාති ගැන නම් මෙලෝපන් දෙයක් දන්නෙ නෑ...මොකද මලකදන් වලට ගහපු ෆෝමලීන් සැර යන්නයි මිනි කුයිලෙ මකන්නයි ගෑවෙම ඔක්කොටම වඩා සැර සුවදක් එන පව්ඩර් එකක්....

තතපර දෙක තුනක් කලාත්ම හාමු දිහාව බලාගන උන්න මං අනිත් පාර ළූනු දාලා තිබ්බ තැනට ගියා...ලිපට කරන වෑංජම අඩු උනත් ලොකු ළූනු දෙක තුනක් දාගත්තම පිරිමහන් කන්න පුලුවන් ...

ලූනු අහවර වෙලා...තේරිලා....තේරිලා දැන් ගන්න තියෙන්නෙ පොතුයි පැලවීගන එන එව්වයි විතරයි....ඔය කිව්වට ගබඩාව ඇතුලෙ හොද ළූනුතියෙයි...ඔව්වා ඉල්ලන්න කට ගහන්නෙ වත් කොහොමද.....අනිත්පාර අනෙ මෙ තියන සමෘදියත් කපලා දායි....

කිහිලි ගහන් උන්න මල්ල දිගෑරගත්ත මං ඒ අස්සෙන් ගෙදරින් ගෙනාව පත්තර පිටුවම එලියට අරන් ගොට්ටක් ගහගත්තා...තේරිලා තේරිලා ආය තෝරන්න දෙයක් නැතිම උනත් මං ඔතනිනුත් ගන්න පුලුවන් හොදම ටික අරන් අර කඩදාසි ගොටුවට දාගත්තා...

අල ලූනු...දෙකෙම්ම ගත්ත මං එහෙම්ම කරවල පෙට්ටිය ගාවට කිට්ටු උනා.....

මහත්තයා හාල්මැස්සන් ගන්ඩ පුලුවන්ද.....

දාන් උන්න කන්නඩි කුට්ටම පහත් කර කර කන්නඩි ගැට්ටට උඩින් සැරින් සැරේම කලාත්ම හාමුදිහා බලන මහ තැනගෙන් මං හාල්මැස්සො ගන්න පුලුවන්ද ඇහුවා විතරයි ඒකා තත්පර ගානක් මගෙ දිහාව බලන් උන්නා....

එහෙනම් ඉතින් සාඩින් ටින් දෙකෙන් එකක් අහක් කරලා ගනින්...

මට නිකන් රටක් රාජ්‍යක් හම්බුනා වගේ...සාඩින් ටින්දෙකෙන් එකක් අහක් කරලා ඒ ගානට වේලුන හාල්මැස්සන් ටිකක් ගත්ත එක මට නිකන් රටක් ලෝකයක් දින්නා වගෙ...අනෙ දෙයියනෙ අපිත් ආසයිනෙ එක වේලක් වත් දෙපාරකට බත් කන්න.....

අපිත් ආසයිනෙ එක දවසක වත් කටට රහට කන්ඩ...

ඔය කොහෙන්ද උඹ ඔය හාල්මැස්සො ගන්නෙ....

මහත්තයා .....

ආන් අර කෙරවලෙ තියන එකෙන් ගනින්....ඔව්වා ගන්ඩ පුලුවන්ද මරුවට හිටි...යමන් අර පස්සෙ එකක් තියනවා.....ඔව්වා රට හාල්මැස්සො....

මගෙ පපුවට අකුනක් වැදුනා වගෙ උනා...දෙවියො එක තත්පරේකට මට සතුට දීලා ආපිට උදුර ගත්තා වගේ උනා....මලත් මොකද හිනාවේගන වගෙ උන්න හාල්මැස්සන් පෙට්ටියට අත තිබ්බා විතරයි මහ තැන කෑ ගැහුවා.....අසරන කම මොනතරම්ද කියනවා නම් මට වෙනකොහෙවත් නැතුව එකමපාරට කලාත්ම හාමු දිහා බැලුවා...මං ප්‍රාර්තනා කෙරුවෙ එකම එක දෙයයි අනෙ පවුඩර් ටින් අස්සෙ උන්න හාමුට මට තියන දෙස් නම් ඇහෙන්න එපාය කියලා...

ඒත් කරුමෙ කියන්නෙම දෙගුන වෙලා ලැබෙන දෙයක් වෙනකොට මේ වෙනකොටත් රාක්ක අස්සෙන් කලාත්ම හාමු මගෙ දිහා බලාගන් උන්නා...අතේ තිබ්බ පවුඩර් ටින් එක මහ සද්දෙට තියලා අඩියට දෙකට මගෙ ගාවට එනවත් එක්කම අනෙ මං අහන්නෙ බලන්නෙ නැතුවම බේබිගෙ පිරිමි පපුවට අත තිබ්බා ....

මගෙ කට ගොලුවෙලා ගියත් මක්කද කටට කලින් ඇස් කතා කෙරුවා....

අනේ එපා රත්තරන් හාමු....

පපුවට තියාපු අත එහෙම්මයි.....ඇස්වලින් කතා කරන එක කනට නෑහෙයි කියන බයටම මං මටවත් නෑහෙන්න කලාත්ම හාමුට මිමිනුවා.....දෙයියන්ට ඔප්පු වෙන්න අර තිරිවාන පාට මලක් හා සමාන මූන බලාගන ඉන්නකොට වැහි කලුවකින් වැහිලා ගියා මදිවට මං බලාගන ඇස් කොනත් රත ගහන් එනවා....

ඇයි මන්දාරම්....එපා කියන්නෙ ඇයි?

කාරි නෑ හාමු....

කාරි නෑ කියන්නෙ මොනවද මන්දාරම්...ඇයි සාඩින් ටින් එකෙ ගානට මෙවයින් දෙන්න බැරි.....දෙන්න බැරි කමක් නෑනෙ.....දෙන්න පුලුවන් මේකට මේ හාල්මැස්සා ලොකු උනාට කොලඹ රටෙ කරවල කඩවල ඉන්න බළලත් ඔයිට වඩා හොද ඒවා කනවා....මං බලාගන ඒකා මන්දාරම්ට රවනවා...මේක ඒකට ගිය සම්පකාරෙද?ඇරත් මක්කටද මහත්තයා ගාන්නෙ...?? ඕනෙ නෑ මහත්තකම් පාන්ඩ.....නියම මහත්තුරු ඔහොම නෑ මන්දාරම් ,කිව්වම අහලා අතාරින්ඩ

මට විසුමක් නැති උනා...මුල් මුල් ටිකෙ හාමුව මෙල්ල කරගන්න බැරි වෙයි කියලා මට බයක් දැනුනත් මක්කද අනෙ පහු පහු වෙනකොට මටත් හොරාවට මේ කලාත්ම හාමු හන්දා හිනා පොදක් නැතිව කරන්ගැට්ටි වෙන මගෙ මුනට හීන් හිනා රැල්ලක් මතුවෙන්න් හැදුවත් මං හරි අමාරුවෙන් හිනාව නවත්තගන හාමු දිහාව බලන් උන්නා....

මං කොහොම කියලා නම් හාමුව රන්ඩුවට යවන්නද...අනෙ හාමු උඹ අද ඉදලා හෙට යයි....අපි මේ වේලුම් කාපු මහපොලව දාලා කොහෙ කියල යන්නද.....

මේකත් කැපුවොත් අනෙ අපෙ බඩපතට මක්ක වෙයිද.....

දහසක් දේවල් යටි හිතින් හිත හිතා මං උන්නෙ තවමත් හාමුව අල්ලන්.....බැරිම තැන වේලුන පිදුරු අහුරකට වැටුන ගින්න ලැව් ගින්නකට හැරෙවෙයි කියන බයට මං හාමුව සනසවගන්න හිත දුකෙන් උනත් බොරුවක් කිව්වා....

නෑ හාමු මහත්තය කියන්න ඇත්තෙ මේ ජාතියට වඩා අර ගොඩින් ගන්නකොට ගොඩක් හම්බෙන හන්දා වෙන්න ඇති....

මන්දාරම් දැන දැනම බොරු කරනවා....අතාරින්න මාව.....

මට ඕනා ඕකගෙ කන් ගැටෙ පලලා හොද දෙකක් කියලා එන්න.....එහෙම කරන්නෙ කොහොමද...සාඩින් ටින් එකක ගානට මෙකෙන් හාල්මැස්සො දෙන්නෙක් තුන්දෙනෙක් දුන්නත් ඒකගෙ අතපය ගෙවෙනවද....නෑනෙ....ඕකා දන්නෙ නා මගෙ හැයි....මාව අතාරින්න මන්දාරම්....

කොච්චිකරලක් වගේ

මං දන්නෙ නෑ මට මොකක් උනාද කියලා....කොච්චර වාත් මට ලෙහාගන්න බැරි උන සන්සාර සුවදක් කාන්දු කරවන හාමුගෙ කියවිල්ල තනිකරම රේඩියෝවාට එහා වෙද්දි මටත් නොදැනිම තරහට රතු උන අර මූන දිහාව බලාගනම කොච්චි කරලක් කිය උනා...දෙයියනෙ බේබිගෙ රෙඩීයෝව ඇස් පනාපිට නැවතිලා ගියා.....

ම්...ම..න්දාරම්....

ස්ස්...ස්...සමාවෙන්න බේබි හාමු....හිතලා කිව්වෙ නෑ...

මට කරකියාගන්න දෙයක් නැති උනා...කොච්චිකරල කිව්වත් මොකද ඊලග තත්පරේදි පියවි සිහියට ආව මට කරකියාගන්න දෙයක් තියා ඒ මූන දිහා බලන්න බැරි උනා ....ගොත ගගහම මං සමාව ඉල්ලුවා...අනෙ දෙයියනෙ....හාමුගෙ රත ගහපු මූන ආපිට මල්පෙත්තෙ පාටට හැරුනා.....

සමාව මොකටද මන්දාරම්....?මන්දාරම්ට තියෙනේ හරි අහිංසක ආත්මයක්...අහිංසක කැලෑමලක්....දන්නවද මන්දාරම්...මට දැන් කොළඹට යන්නත් හදිස්සියි...මගෙ යටි හිත මට ඉක්මනටම ආපිට කොලොම්තොටට නැව් නැගපන් කියනවා....දූවලා ගිහින් සියපත්ට මන්දාරම් ගැන කියන්න කියනවා.....මන්දාරම්ගෙ අහිංසක ආදරෙ කොහොම කරලා හරි සියපත්ට දිනාගන්න කියනවා....

ඒත් ..මන්දාරම්ගෙ ඇස් ඉස්සරහා කලාත්ම උන මගෙ යටි හිත මේ ගම්දනව්ව දාලා යන්න එපාය කියනවා.....කැලෑමලට කවුරු හරි රිදවයි කියලා මෙහෙම නැවතියන් කියනවා....

මට තේරෙන්නෙ නෑ මන්දාරම්....අපරාදෙ මට තිබුනෙ පියුම් වගේ මොකක් හරි ගුරුපට්ටමක් ගන්න.....එහෙම උන නම් මං පඩිත් එපාය කියලා මේ ගමේ නවතිනවා.....

බේබි හාමුට දවසක් දෙකක් ඉන්නකොට මේ ගම්පලාත එපා වෙයි ...මෙව්වයි ඉන්න පුලුවන් අපි වගේම උන්ට විතරයි බේබි හාමු...එහෙව් එකේ හාමුලා කොහෙ ඉන්නද...

නෑ...ඒක එහෙම වෙන්නෙ නෑ....මන්දාරම් අහලා තියනවද කතාවක් තියනවා...ම්ම්ම්ම්ම්...මොකක්ද දන්නවද...

මොකක්ද බේබි හාමු....

කලාත්ම හාමු වචන එකතු කරනවා...ඒ අස්සෙන් මං බාලගන හාල්මැස්සන් දාලා තිබුන පෙට්ටියෙ පැත්තක් තිබුන පරන පත්තර ගොඩෙන් පත්තර පිටුවක් ඉරාගන ගොට්ටක් ගහගන්නවා....හාල්මැස්සො අහුරු අහුරු අරන් අර ගොටුවට දාගන්නවා.....මං ඇයි අහන්න ගියෙත් නෑ...

සමහර විට නවරත්න ගුරු ගෙදරට වෙන්න ඇති කියලා හිතපු මං බේබිට ගෝනි නූල් කෑල්ලක් කඩලා දෙනවත් එක්කම බේබි අර ගොටුව කට වට වහලා අවසානෙදි මගෙ ඇගිලිවල ගෑවි නොගෑවි ගෝනි නූල් කෑල්ල අරගත්තා....ඒ චුට්ටකින්ම ඒකත් අතේ තියාගන ආපිට රාක්ක අතර එහා මෙහා යන ගමන් මගෙ දිහා බලාගන ඉදල ඉදලා හිනා උනා....

දෙයියනෙ... ඒ හිනාව!!

දයාබරිය,වේලුම් කාගන තිබුන මගෙ පපුවට දෙව්ලොවින්ද මන්දා පිරිත් පැන් ඉහල තිබුනා!!!!

..බේබි උඹගෙ හිනාව....උඹගෙ හිනාව තනිකරම අහස් ගව්වකින් වේලුම් කාපු මහපොලවට එවන වැහි බිදුවලට අන්තයි බේබි...උඩ ඉන්න කෝටි තිස්තුනෙන්ම මං ඉල්ලන්නෙ මෙච්චරයි බේබි උඹගෙ හිනාව හැමදාම උඹගාව තියෙන්න ඕන කියල විතරයි ...

මොකක්ද දන්නවද මන්දාරම්.....අහසක් උනත් නවතින්න ඉඩ දෙන්නෙ හිත ගිය මන්දාරමකට විතරයි.....තවත් ලිහිල් කරලා කියනවා නම්....හිත ගිය තැන නෙවෙද මන්දාරම් මාලිගාව!!රෑ....අහසෙ.....තරු කැට පායා තිබුනා....මා තනිවෙ ....සිතුවිලි සයුරෙ වෙලුනා......

බේබි....?

එච්චර හිතන්න එපා මන්දාරම්....මනුස්සයෙක්ට තවත් මනුස්ස හදවතක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ....

බේබි යන්න ගියා.....මටවත් හරි හැටි තේරුම් ගන්න බැරි කතාවක් කිව්වා මදිවට සින්දු කෑල්ලකුත් මුමුනගනෙ කලාත්ම හාමු ආපිට රාක්කයක් අස්සෙ අන්තරස්දාන වෙනකොට මං තවත් තත්පරයක් දෙකක් හාමු දිහා බලාගන ඉදලා වෙනදා වගේම ඕනකරන කලමනා වෙනුවට නැතුවම බැරි කලමනා විතරක් මගෙ බෑග් එකට දාගත්ත මගෙ ඇස් දෙක සබන් තිබුන රාක්කෙ ගාවදි වෙනදටත් වඩා වැඩි වෙලාවක් නැවතිලා තිබුනා.....

ගෙදර ලමිස්සියෙක් ඉන්නවා...

අඩුපාඩු දාහක් තිබුනත්....අනෙ ඒකිගෙ හිත මක්කකින්න් වත් සතුටු වෙන දෙයක් තියනවා නම්.....

‍රාක්කෙ හිස් තැන් මකන්න වගේ ඈතින් ඈතින් වනලා වගෙ තිබ්බ කොහොඹ...වෙනිවැල් ගැට සබන් කැට අස්සෙන් අස්සෙන් ගිහින් අවසානෙදි මගෙ ඇස් දෙක රානි සබන් කැටේ ගාව නැවතුනා....අප්පොච්චටයි මටයි එක කැටයක් ඇගෙ ඇතිල්ලුව හැකි.....ඒත්.....නංගි....පිරිමි අතුල්ලපු කැටයක් කොහොමද ලමිස්සියෙකුත් උලන්නෙ.....

අවසානෙදි රානි කෑල්ලත් පන් මල්ලට එකතු උනා...අනෙ වෙනිවැල්ල ගැට පුසුඹක් මැදින් මගෙ නාහෙට කිරි සුවදකුත් දැනී නොදැනී ගියා..."නිවන්"

සල්ලිඇති වෙයිදො...අහක් කරන්න ජාතියකුත් නෑ.....සරමට යටින් තිබුන කලිසම් සාක්කුවටම තිබුනෙ රුපියල් විස්සයි....මදිපාඩුවක් උනෝතින් මක්ක හරි අඩු කරලා සබන් කෑල්ල ඉතුරු කරන්න කියනව...අනෙ මතු බුදුවෙන සුමන සමන් දෙයියනෙ මගෙ කොල්ලට රිදවන්ඩ එපා...

මන්දාරම්....

බේබි හාමු....

ගන්න ඕන හැම දේම අහවර කරන් මං පන් මල්ල මහ තැනගෙ මේසෙ ගාවට උස්සන් යනවත් එක්කම තවමත් එක එක ජාති අත පත ගග උන්න බේබි මට මන්දාරම් කියලා මහ සද්දෙන් කතා කරනවත් එක්කම මං බලාගන මහ තැන එකපාරම බේබි දිහාවත් බලලා මගෙ උඩ ඉදන් යටටම බලාගන ගියා ...

හරියටම උඹට එහෙම නමකුත් තියනවද කියලා අහන්නා වගේ...උන් කොහෙ කියලා නම් මගෙ නම දැනගන්නද....උපන්දා ඉදම්ම මන්දාරම උප්පැන්නෙට විතරක් සීමා වෙලා ගිහින් බෙනේ කෑල්ල විතරක්ම පට්ට ගැහෙනකොට....

ඇයි බේබි හාමු.....

මේක සුවදද මන්දාරම්

මගෙ අම්මෙ මේක ගනන්නෙ හාමු...

මං ඇහුවෙ සුවදද කියලා විතරයි ලමයො...ගාන ඇහුවෙ නෑනෙ....මට මෙතනින් හිත අලගත්ත සුවදකට තිබ්බෙ මේක විතරයි.....

බේබිගෙ අතෙ පියරු ටින් එකක්....ඉස්සරහම ඉන්ග්‍රීසි අකුරෙන් woodo කියලා ලියවුන පියරු බෝතලයක්.....පුසුඹ බලන්ඩ කිව්වට මොකද මොකටත් කලින් ගාන බලලා පුරුදු මට හීල්ලුනා...බේබි හිනා වෙලා මට නෝක්කාඩු නොකිය නෝක්කාඩු කියන්න ගත්තා...

බේබිට හිනා....ඒත් බේබි දන්න්නෙ නැති උනාට සතෙ උනත් අපි වගේ උන්ට වටිනවා බේබි...

මේක පුසුඹයි බේබි හාමු.....

ඇත්තටමද....

ඔව්....

අවසානෙදි මගෙ නාහෙට ලන් කරාපු පියරු බෝතලෙන් පුසුඹ ටිකක් හොරාගත්ත මන් බේබි දිහා බලාගන පුසුඹයි කියනකොට කලාත්ම බේබි හාමු ඒකත් තුරුලු කරගත්තා...

මන්දාරම් අර පැටියව බල්න්ඩ යනවද...

යන්න හිතන් ඉන්නෙ බේබි හාමු...සමනගෙ අම්මගෙ සුවාසෙත් නෑ....අරුන්දගෙ ඇස් වලිනුත් පන ගිහින්.....ඇරත් අරකිලාට කටු අලයක් තම්බන් දීලා කොහොමද බේබි අර පැටියට කිරි කදුලක් වත් පොවාගන්නෙ...ගෙදර ගිහින් බත් ගෙඩියක් බැදන් මේ පිම්මටම ගියෝතින් පැටියව බලාගන හදෙන් හෝරා දෙකකින් වත් එන්න පුලුවන් බේබි හාමු...අනේඑකා සනීප වෙන්ඩම ඕන බේබි හාමු....ඒක විතරක් නෙවෙ....ලෙඩක් දුකක් හැදිලා ඉන්න සතා සීපාවගෙ ඉදම්ම සුව වෙන්න ඕන නිදුක් වෙන්න ඕන...නීරෝගි වෙන්න ඕන.....

.......ඔය තරම්ම අහිංසක ඇයි මන්දාරම්....

.බේබි හාමු....

බේබි හාමු මගෙන් ඇයි මන් අහිංසක අහනවා...අතේ තිබුන පියරු බෝතලේ හරව හරව ඒ දිහා බලාගන උන්න කලාත්ම හාමු එතනම තිබුන ඕඩි කොලෝන් බෝතලෙත් අතට අරගන පපුව පුවරවලම ලොකු හුස්මක් අරගත්තා...

මන්දාරම් දන්නවද කතාවක් තියනවා මෙන්න මෙහෙම....පොතක උනත් ලියවෙන මැවෙන ප්‍රේමනීය වදන්...ප්‍රේමනීය හෝරා ලියවෙන්නෙම මැවෙන්නෙම ලියන මනුස්ස පරානෙත් තමන් විදින්න බලාපොරොත්තු වෙන ආකාරෙක ප්‍රේමයක්.....මන්දාරනුත් එහෙමයි....ඔය ඔයාකාර සෙත් කවි කියන්නෙ තමනුත් කාගෙ හරි කටින් තමුන් වෙනුවෙන් කියවෙනකොට අහන්න ආස කරන සෙත් කවි නෙවෙද මන්දාරම්.....

අපි වෙනුවෙන් වස් කවි මිසක්...සෙත් කවි කොයිවද කලාත්ම හාමු...?

මං හිනා උනා...බේබිගෙ කතාවෙ යනතම් ඇත්තක් ගෑවිලා නැතිවමත් නෙවෙ උනත් සෙත් කවියක් තියා හිනාවක් වත් නොදෙන මිනිස්සු අහුරක් ඉන්න තැන මන් කොහොම නම් සෙත් වදන් බලාපොරොත්තු වෙන්නද....

මං එන්න හැරුනා....බේබි හාමුත් වචන ගොලු කරන් මගෙ දිහාව බලන් ඉන්නකොට මං මීටත් එහා මොකුත් නොකියම සමුපකාර මහ තැන ඉන්න තැනට ඇවිදින් කෑල්ලෙන් කෑල්ල බඩු එලියට අරන් ගනන් මිමි බලන්න ගත්තා.....

*

*

*

ඒත් තව විස්සක් විතර හිඟයක් හිටිනවා...මේ සබන් කැට ගනන් නෙ....උඹට වෙන මක්කවත් අහු උනෙ නැද්ද.....කව්ද බොල බෙනා තොපෙ ගෙදර රානි උලන්ඩ ඉන්නෙ....?

සාක්කුවෙ තිබුන විස්සත් දීලා තවත් හිගේට විස්සක් හිටිනවා කිව්වා විතරයි අනෙ මං අර බඩු ගොඩ පීර පීර අහක් කරන්ඩ දෙයක් හෙව්වා.....මොනවා කියලා අහක් කරන්නද දෙයියනෙ මේ සොච්චමෙන්....මොකො සමුර්දියට කියලා මහ ගානක් එනවද...

මහත්තයා එහෙනම් මේ...හාල්මැස්සන් එක...

හොයලා...හොයලා...අඩු කරන්න කලමනාවක් නැතිම තැන අවසානෙදි මං අර පිටිපස්ස පෙට්ටියෙන් ගත්ත හාල්මැස්සන් ගොට්ට පැත්තකට කෙරුවා....හාල්මැස්සෙක් එක්ක බත් කටක් කන්ඩ තිබ්බ ආසාවට කී වංගියක් නම් වැටකඩුලු බැදුනද.....

මං හිතන්නෙ හාල්මැස්සෙක් ව වත් ගෙට ගන්ඩ මට කැප නැතුව ඇති .....

කීයද ඔතන ගිගයි කියන්නෙ උන්නැහෙ?

බ්....බේබි හාමු.....කාරි නෑ හාමු...මේ හිග උනාට සාඩින් තියෙනවා කලාත්ම හාමු.....

කාරි නෑ කියන්නෙ මොනවද ... සාඩිනුයි ඕකයි ජාති දෙකක්නෙ ළමයා.....උන්නැහ මට ගාන කිව්වා නම්...කීයදක්ද මේ මන්දාරම්ට හිගයි කිව්වෙ කිව්වා නම්....

මගෙ කනුත් එක්ක රත් වෙලා ගියා.....මං ගනන් මිමි බලනකොටත් සීනි බෝල පුසුඹ විතරක් නෙවෙ නානාප්‍රාකාර පුසුඹවල් තැවරුන සමුපකාරෙ ඇතුලෙ එහා මෙහා වෙවී උන්න කලාත්ම හාමු එකපාරම මගෙ පිටිපස්සෙන් ඇවිදින් අඩුපාඩු ගාන කීයද අහනවත් එක්කම මං බලාගන සම්පකාර මහතැන ගැලවෙන්න වගේ තිබ්බ කන්නාඩිය ආපිට මූනට තද කරගන්නවා...

ඒතරම් රළු කටහඩක් කලාත්ම හාමුට තිබුනා.....

ඔය මහත්තයා....මීට කලින් නම් දැකලා නෑ....ගමේ නම් වෙන්ඩ බෑ...ගමේ එකෙක් නම්.....ණයක් දෙනවා තියා මෙවුන්ගෙ ළඟින් යන්නෙත් නෑ........බාගවෙලාවට මහත්තය දන්නෙ නැතුව ඇති.....ගම් හතකට උනත් මේකයි තාත්තයි තමයි එකතුවෙලා මිනි කපන්නෙ....මං ඔය මහත්තයගෙ රූප සොබාව දැකලා මේ කියන්නෙ....ඔය මහත්තයා නම් බොහෝම වැදගත් තැනක ඇත්තෙක් වෙන්ඩ ඇති.....මහත්තයා මෙවුන් එක්ක ගනුදෙනු තියාගන්නෙ නෑ මහත්තයා

කලාත්ම හාමු.....පින් සිද්ද වෙයි.....පැත්තකට වෙන්ඩ හාමු...

බැරිම තැ මම කලාත්ම හමු ගාව පින්සේන්ඩු උනා....මං තනිකරම දෙතිස් දත් මැද ඉන්න දිව වගේ....එකපැත්තකින් හාමු අනිත් පැත්තෙන් සමුපකාරෙ අරක් ගත්ත බයිරවයා....

දැන් උන්නැහැට තියන ලොකුම ප්‍රශ්නෙ මේකද.....අඩුපාඩුවට පියවන්ඩ යන ගාන ගැන නාහ මක්කටද බොල මගෙ ජාතකෙ හාර හාර අහන්නෙ...ඔව් මං පිටගම් කාරයා...නවරත්න ගුරු ගෙදරින් අහපිය මං මොකාද කියලා.....මන්දාරම්

බ්...බේබි හාමු....

මට ගොත ගැහුනා...දෙවියනෙ කලාත්ම හාමුට තරහා ගිහිල්ලා.....මේ ඉන්නෙ අර නිවුන විදිහට ඇයි මේතරම් අහිංසක මන්දාරම් කියන බේබි හාමු නෙවෙ....මේ ඉන්නෙ මග දිගටම අහන් ඉන්න ලෝබ හිතෙන විදිහට සින්දු කියාපු බේබි හාමු නෙවෙ....හාමු කෙනෙක්ටම උරුම වලව් ගම්බිරත්වෙ උතුරන්ඩ තිබුන හාමු කෙනෙක්ව මං කලාත්ම හාමුගෙන් දැක්කා...

සමුපකාර මහතැනට දෙස් තියාපු කලාත්ම හාමු ඒ ස්වරෙම්ම මන්දාරම් කියනකොට අනේ කොච්චර වාත් මෙවුන්ගෙ පයට පෑගෙන මන් හාමුගෙ විදානෙත් එක්ක උත්තර බැන්දා උනත් ඒ ඇස් නෙවෙ මගෙ දිහා බැලුවෙ.....එතකොට හාමු මන්දාරම් කියලා ගිගුරුවෙ කාටද???

උඹට නෙවෙ කොල්ලා මං මේකට ඇහෙන්ඩ උඹගෙ නම කිව්වෙ...අහගන් මේකගෙ නම තෝ බොල වර පල බෙනා බෙනෙ නෙවෙ.....මේකට නමක් තියනවා....උන්නැහැට තව කාර්තු කීයක් මෙ සමුපකාරෙ කරන් ඉන්ඩ ඕනද ම්ම්ම්??? කී කාර්තුවක් මේකෙ රජකරන්ඩ ඕනද කියාපිය???

තත්පර විනාඩි උනා....විනාඩි හෝරාවලටත් කිට්ටු කරන් එනකොට වචනත් නැතුව හැගීමුත් නැතුව මං උන්නෙ අසරන වෙලා වෙනකොට බඩුවලින් බර උන මල්ලෙ බර උරහෙට දරන්ඩ දුන්න් මං උන්නෙ සම්පකාරෙනුත් එලියෙ වෙනකොට මං බලාගන කලාත්ම හාමු කාටද මන්දා ගත්ත කලමනාවලින් සිලි උරයක් පුරවගන්නවා...කොටින්ම මට බල්ලට බලලාට කතා කරන්නා වගේ කතා කරන මහතැන බලු ගානට වැටිලා කොදුත් කුදු කරගන හාමු පස්සෙ යනවා...

මන්දා මගෙ යටි හිත පුපුරු ගහනවා...අනෙ හාමු උඹ අද ඉදල හෙට යන්න යනවා.....මින් එහාට මං එපැයි ආයාම මුන්ගෙ හයිරන් කාරකමට යටවෙන්න...මං දන්නවා හාමු කාගෙ කව්ද මං මොන ජාතියෙද නොහිත උඹ මට ලෙන්ගතුකම් පානවා අනෙ හාමු ඒ පිනම ඇති තව සන්සාර අහුරකටම උඹලගෙ හිත සතුටින් තියන්න.....

උඹලා දන්නෙ නෑ කලාත්ම හාමු උඹලගෙ එක බැල්මට පවා මගෙ හිත නිවෙනවා කියන්න.....පුරන් වෙච්ච කුඹුරකට අන්ත උන මගෙ හිත උඹලා හින්දා ආයම පනගහනවා හාමු....

තත්පර ගානක් හාමු දිහා බලාගන උන්න මට එකපාරම ඒ ඇස් දෙක...ඒ හිනාව මොනවගෙද කියන්නවත් නොදන්න වා උනත් පැල්බැදගන ආදරේ කරන සියපත් මහත්තයව මතක් උනා.....

දවසක සන්සාරෙ කොයිම හරියක හරි කරපු පිනක් තිබුනොතින් සියපත් මහත්තයො උඹටත් වතාවකට හරි මං උඹලට හරි ආදරෙයි කියන්න....අනෙ සත්තයි රත්තරනෙ මං උඹලට ආදරෙ කරනවා ගම් හතකට හරියන්න...

මන්දාරම්.....

බේබි හාමු අහවරද....

ම්ම්ම්....

සිලි මල්ල පිරිලා....කාටද මන්දා..මහත්තයා යන හන්දා අනිවාර්යයෙන්ම ගුරුගෙදරට වෙන්න ඇති....

තරහා නැත්තන් මේක මගෙ පර්ස් එකට දාන්නකො....

හ්..හාමු....මං.....??

.ඇයි මෙතන මන්දාරම්ටයි....මටයි ඇරුනම තව කවුරු හරි ඉන්නවද...පේන්නෙ නැද්ද මගෙ අතෙ බඩුමල්ලක් තියනවා....

මගෙ ඇහිබැම එකට ඇකිලුනා....ලෙදර් හමකින්ද කොහෙද හදාපු කලුපාට පර්ස් එකක්.....සමුපකාරෙන් ඉතුරු උන සල්ලි අතෙ ගුලිකරන් ආව හාමු මගෙ දිහාවට ඒ පර්ස් එක දික් කරලා මට කියනව ඉතුරු සල්ලි ඒකට දාන්න කියලා...ඉතින් හත් දෙයියනෙ මටත් බේබිගෙන් අහන්න තියෙන්නෙ මගෙ කරෙත් බඩුමල්ලක් තියනවා කියලා පේන්නෙ නැද්ද කියලා තමයි.....ඒත් මේ හාමු මුරන්ඩුයි ..හරියම පුංචි එකෙක් වගේ....මොන මායාවක්ද මන්දා....වෙස් පෙරෙලෙන තරම මටවත් හිතන්න බැරි තරම්....

තත්පර ගානක් බලාගන උන්න මං අනිත් පාර උරිස්ස බරකරන් උන්න මා බිමින් තියලා මගෙ අත් දෙකම සරමෙන් පිහදාගන අර අලුත්පාට පර්ස් එක අතට අරගන හාමු ගුලි කරන් උන්න සල්ලි කොල ටික අතට ගත්තා...ආයමත් වංගියක් මගෙ ගොරෝසු ඇගිලි තුඩු හාමුගෙ රෝසපාට ඇගිලි තුඩුවල වැදුනා.....

ප්‍රේමිය ඇගිලි තුඩක චුම්බන පවා හදවතට විදුලිසැර එවනවා නොහිතන තැන්වලදි ,දුප්පත් මගෙ හිත ඇස්පනාපිට අඩපනවෙලා යනවා කම්පන දරාගත නොහැකිව!

"කලාත්ම හාමු....."

පර්ස් එක දිගෑරියා විතරයි මට මිමිනුනා....පර්ස් එකම සල්ලි කොල අහුරකින් ගැබ්බර වෙලා තිබුනත් මක්කද මගෙ ඇස් ගියේම කොනක තිබුන පුංචියට තිබුන බේබිගෙ පින්තූරෙ ගාවට වෙනකොට මටත් නොදැනිම මට බේබිගෙ නම මිමිනුනා...

........මන්දාරම්ට නෑ?

මේකක්ද හාමු.....අනේ හාමු අතට දෙන සොච්චම සක්කුවෙ ඔබාගන මයෙ අම්මගෙ අතට ගුලිකරනවා මිසක් අපිට කොයිවද මෙහෙම රැකගන තියාගන්ඩ තරම් සල්ලි කදක්.....මේකක් නෑ හාමු....

......නෑ මං අහන්නෙ...මේ වගේ පුංචි පින්තූරයක්....

මට ලැජ්ජා හිතුනා...බේබි අහලා තියෙන්නෙ පින්තූරයක් ගැන....අනෙ මං ගාව කොයිවද මගෙ පින්තූරයක් ....

හදිසියෙ මලොත් මරනෙට වත් අලවන්ඩ එකක් නෑ හාමු...

චිහ් ...අවකැපෙන කතා කියන්ඩ එපා මන්දාරම්...නැතිනම් නෑ කියන්න...මොනවද ඔය කියන කතා.....

බ්....බේබි....

ඇයි මොකද....???බේබි තමයි...කොච්චරවත් බේබි .....ඔය කටට ගෙඩි දානවද එකවතාවක් මට කලාත්ම කිව්වොතින්...අනික මරනෙට වත් පින්තූරයක් නෑ කියන්නෙ....මන්දාරම්ගෙ ඔලුව වේලීගන එනවද කොහෙද...මේ කොල්ලට අච්චු කරන්න කවුරුත් නැති හැටියක් ...

බේබි.....

ඕන නෑ....මං යනවා යන්න...මං මොනවා හරි දෙයක් කිව්වොත් තමයි අරකයි මේකයි ගාන්නෙ...එයාලට කියන්න හොදයි ...මේක පුදුම අසාධාරන ලෝකයක්නෙ....

මේ මොන මගුලක්ද කිරි අප්පෙ මේ උනෙ.....???බේබිට මක්කා වැහුනද මෙ එකපාර...??

මං හිතන්නෙ මගෙ කටත් ඇරුනා.....මරන දැකලා දැකලම...මලකදන් එක්ක ඔට්ටු වෙලාමද කොහෙද ජීවිතේට වඩා මරනය ආත්මෙට සමීප මං මරනෙටවත් අලවන්න කොලයක් නෑ කිව්ව විතරයි කලාත්ම හාමු බෙල්ලෙ නහර වැලුත් උලුප්පගන මටත් දෙස්තියාගන තියාගන ගිහින් අවසානෙදි මාවත් දාලා යන්න යනකොට මගෙ කට ඇරුනා....

*

*.

*

ගුරුපාර පුරාවටම දූවිල්ල ඇවිස්සෙනවා...ඉර එලියෙන් රත් වෙලාම හමාගන යන හුලන් රැල්ල පවා ගිනියම් වේගන හාදු තියාගන තවත් නොදන්න දේසෙකට යන්න යනවා.....

කලාත්ම හාමු මා එක්ක තරහ වෙලා...මාවත් දාලා අඩි හප්ප හප්ප යනකොට ජාති දෙකෙන් බාට දෙකක් දාගන උන්න මං බේබිට මක්කවත් නොකියම බේබි පස්ස පාරෙ යනවා....

මුලු ගුරුපාරම පාලුවට ගිහිල්ලා....ඉද හිටක කවුරු හරි බයිසිකල් කෑල්ලක හරි මක්කවත් හරි අරන් යන ලෑන්මාස්ටරයක් හරි ගුරුපාර තලාගන යනවා ඇරුනම මුලු ගුරුපාරම පාලුවට ගහන් ගිහින්....

වතුර බිදක් ඉල්ල ඉල්ල හටන් කරලා අවසානෙදි හුස්ම ඇරපු හේන් කෑලි...දන උඩත් පහු කරන් වැවුන කැලෑ තනකොල අහුර හුලන් පාර යන දිහාවට නැවෙනකොට ඇදන් උන්න මගෙ සරමත් පාට පිච්චුන ශර්ට් එකත් හුලන් රැල්ලත් එක්ක යන්න හැදුවා...

බේබිගෙ සින්දු අහවර වෙලා....අඩුම ගානෙ වචනයක් නෑ....

කලාත්ම හාමු.....

ගල්පොත්ත හන්දිය පේනමානෙදි මං අගුල් වැටුන කටෙ අගුල කඩා දැම්මා....අවුරුදු ගානක් හෙවන දීලා දීලා ගුනකතන නැතුවම මියපරලොව ගිහිනුත් සැකිල්ලත් ලේන් පැංචෙක්ගෙ ඉහට හෙවනකට පූජා කරාපු ගස් කදක් ගාව නැවතිලා ගහ දිහාව බලන් උන්න හාමුට මන් කතා කෙරුවා....

හාමුගෙ ඇස් දෙක තිබුනෙ දිරාපු ගස් කදෙ අරටු දිහාවට වෙනකොට මං උරහිසම යටපත්කරන් උන්න මල්ල බිමින් තියලා දාබින්දු ඉපදුන නලල මගෙ සරමෙන් පිහදගන හාමු දිහා බලන් උන්නා....

පන හිහිනුත් මෙච්චර ලස්සන මේ ගහ කාලෙකට කලින් හරි ලස්සනට තියෙන්නෙ ඇති නේද මන්දාරම්.....

බේබි දිරාපු කදත් වර්නනා කරනවා...

එහෙමයි බේබි හාමු....මේ යාන්ගෙම හෙවන කෙරුවා.....

ආන් ලේනෙක් යනවා...මැරිලත් මොකද තවමත් අනුන් ගැනම හිතනවා...කවදාවත් ස්තූතියක් වත් තිබුනද දන්නෙ නෑ.....

ස්තූති කතා බලන් කව්ද බේබි හාමු උදව් පදව්කරන්නෙ...ස්තූතියක් ගන්න බලාගන කරන උදව්වෙන් ඇති වැඩේ මොක්කද හාමු....මලක් උනත් පුසුඹ බෙදන්නෙම ආපිට ස්තූතියක් බලාපොරොත්තුවෙන් නෙවෙ වෙද්දි රූස්ස ගහක් ස්තූතියක් ඉල්ලනවා කියලා හිතන්න බෑ හාමු...

මං උන්නෙ ගහ දිහා බලාගන...මෙච්චර වෙලාම මට දෙස් තිය තිය උන්න හාමුව වෙනස් වෙලා...ඒ කටහඩ වෙනස් වෙලා...ඉර අවුවෙන් ගිනියම් උන හුලන් රැල්ලක් හාමුටත් මටත් මැදින් ගලාගන යනකොට මන් බලාගන කලාත්ම හාමුගෙ ඇස් මගෙ මූන පුරාවට එහා මෙහා යනවා....

අනෙ දෙයියො හාමු මගෙන් අවසරයක් නොගෙනම මගෙ ඉහ උඩට අත තිබ්බා....

මන්දාරමුත් ඒ වගේ....ස්තූති කතා නාහම වෙස්සන්තර වෙනවා...ඔය හැටි අහිංසක වෙන්න එපා මන්දාරම්....

හාමු...

අනුන් වෙනුවෙන් පේ වෙන මේ සුන්දර මනුස්ස පරානෙ නිදුක් වෙත්වා....

නීරෝගි වෙත්වා...

සුවපත් වෙත්වා.....!!!සංසාරෙ කොයිම තැනක වත් මං කරපු පිනක් තිබුනොතින් මේ ප්‍රේමනීය ආත්මෙ වෙනුවෙන් අනුමෝදන් වෙත්වා.....උඹට බුදුවෙන්න නියතවිවරන දීලා අහවරයි මන්දාරම්....උඹ බුදුවෙන දාක පුලුවන්ද මටත් උඹගෙන් බන අහලා සෝවාන් වෙන්න විවරණ දෙන්න...?

මගෙ ඇස් පිය උනා...බේබි හාමුගෙ කටින් පිට උන වචන උහුලනු බැරි තැන මගෙ බොරපාට ඇස් වලින් කාන්දු උන කදුලු කැට ගිලාබැහැපු කම්මු තෙමාගන යාමෙක මං අහගන කවදාවත් නැතුව කෑරලෙක් වෙනුවට කුරුලු පැටියෙක් කෑ ගහගන අකාසෙට පියාඹනවා..ගිනියම් උන හුලන් රැල්ලෙ එතිලා කැලෑමල් පුසුඹකුත් ගහගන යනවා....!

උඹලට පින් හාමු මහත්තයො....

මන්දාරම්....

අම්මා අප්පා සමනා ඇරුනම මගෙ හිත නොරිදවපු එකම එකා උඹයි.....උඹලට පින් හාමු මහත්තයො....

........

බේබි හිනා උනා.....බිම තිබ්බ මල්ල ආපිට උරහෙට ගත්ත මං බේබි එක්ක සමාන්තරව ඇවිදන් යනකොට යුධ හමුදා කියල ලිය උන වාහනයක් අපිව පාස් කරන් යන්න ගියා...

මන්දාරම්....

බේබි හාමු...

මං හෙට පාන්දරම යනවා.....සමහර විට මං යන කොට මන්දාරම් නිදාගනත් ඉන්න පුලුවන් ...

මගෙ පපුවට අකුනු පිට අකුනු වැදුනා වගේ උනා...හාමු යන්න යනවලු.....මගෙ ආත්මෙම සියපත් මහත්තයා වෙනුවෙන් සින්නකර උනත් මක්කද කලාත්ම මහත්තයා මෙ ගෙවුන පැය ගානට මට තනිකරම තව්තිසාවෙන් වැඩමකරාපු දෙවියෙක් ගානට වෙනකොට මගෙ පපුව කීරි ගැහිලා ගියා....

බේබි කියවන් ඉන්නවා...අඩක් වේලුම් කාපු තනකොලයක් ගලවගත්ත බේබි හාමු ආයම සින්දුවක් මුනුනවා....ඒකත් මටත් හාමුටත් ඇහෙන්න විතරක්ම වෙනකොට අනෙ මං හාමුගෙ වචනයක් වත් මගෙන් හැලෙන්න නොදී ඔක්කොම අහන් උන්නා...

මන්දාරම්....

හාමුගෙ සින්දුව නැවතුනා.....

.බේබි හාමු....

අහිතක් හිතන්නෙ නැතිනම්.....මං අද දවල්ට මන්දාරම්ගෙන් බත් කටක් ඉල්ලගන්නද...?

..........

මෙව්වට උත්තර දෙන්නෙ කොහොමද කියාපන් හිතවත.....කොලොම් තොටෙ දිවිය බෝජන වලින් රසනහර සන්තර්පනෙ කරාපු උත්තමයෙක් මගෙ පැල්කොටෙන් බත් කටක් ඉල්ලනකොට මොකාවද ගොලු නොවෙන්නෙ ?

දෙන්නම් හාමු...රජ බොජුන් නම් නෑ හාමු...ඒත්....දෙන්න තියන දේ මක්ක උනත් බෑ නොකියා දෙන්නම් හාමු....

බේබි හිනා උනා..... අතරමැද නැවතුන සින්දුව ආයම පටන් ගන්න යාමෙක ගල්පොත්ත හන්දිය පහු උනා විතරයි ඒකදන්තයගෙ පිඹිල්ල ඈතකින් ඇහුනා....

ජාති දෙකේ සෙරෙප්පු කබල ගෙවිලා ගෙවිලම බොරලු ඇනි ඇනී මගෙ යටි පතුල් රිදවනවා.....බඩු මල්ල ඒ උරිස්සෙන් මේ උරිස්සට මාරු වෙනවා.....මං බුදුවෙන දාක මගෙන් බන ආහගන සෝවන් වෙන්න විවරන ඉල්ලපු මිනිස් වේසෙන් ආව දේවතාව මගෙ සර්වාංග කබලට දැනෙන හැම වේදනාවක්ම මගෙන් උදුරගන්න සින්දු කියනවා.....

ඈත කදුකර හිමව් අරනෙ...

සීත චන්දන ලපලු හෙවනේ.....

සුළං රැල්ල්ව් පාව එන්නෙ

ඔහු ගෙ නාමය වේ.....

රනින් කළ වන් පුළුල් උරයෙන්

රනින් කළ වන් පුළුල් උරයෙන්

හසුන් ළමැදෙ මුස කරන්නෙ

හදේ මෝරන ආදරේ....

සඳ සොමි ගුණ යා කෙරෙ.....

හදෙ මෝරන ආදරෙ....

බේබි හාමු සින්දු කියනවා....ඒ කටහඩ නම් කන්වලට මීපැනි වක්කරනවා වගෙ....පිරිමිකම උතුරන කටහඩින් බේබි හාමු සින්දු කිය කිය සැරින් සැරේම මගෙ දිහා බලනවා....හරියටම ඒ හැම සින්දුවම කියන්නෙ මන් වෙනුවෙන් වගේ කතවක් ඒ ඇස් නොකියා කියනකොට මං හාමුගෙ ඇස්වලින් පිට පනින්න හැදුවා.....

මන්දාරම්....

හාමු....

බේබි හාමුගෙ සින්දුව සම්පූර්නම නැවතුනා...දුප්පත් මගෙ පැල්කොටේ පේනමානෙදි හාමු නැවතුනා.....සමනගෙ මරනෙට ඇදපු කොඩිවැල් තවමත් හුලන් රැලි එක්ක නැලවෙනකොට ඊටත් පිටිපස්සෙන් පියදාස මාමගෙ මරනෙට ඇදපු කොඩිවැලුත් හරි හරියට හාදකම් පාන වෙලාවක ඒ මරනෙට යන උන් අපිදෙන්නව පහු කරන් ඉක්මං ගමනින් යන්න ගියා.....

මං බේබි දිහා බලාගන උන්නා...මරනෙට යන සමහරෙක් හාමු දිහා ඇස් ලොකු කරන් බලාගන විපරන් කෙරුවා....හාමු මා එක්කලා ටැග් ගැහෙනවා කියල නවරත්න ගුරාගෙ කනට වැටේවිදෝ කියන බයෙන් මගෙ හිත මැලවෙනවා....ඒ එක්කම මගෙන් අඩියක් විතර දුර උන්න බේබි හාමු මගෙ ලගට ඇවිදින් ඇස්වලට එබුනා...

මට කවිකියන්න දන්නෙ නෑ මන්දාරම්....හැබැයි..මං විස්වාස කරනවා...මේ මන්දාරම වෙනුවෙන් ප්‍රේමනීය අහස්ගැබක් නම් තියන වටිනම වචනවලින් ප්‍රේමයට කවියක් ගොතලා හුස්ම පිඹියි කියලා...දන්නවද ඒ කවිය ඉපදෙන්නෙ සර්වාංගෙ බරම පැත්තෙන්!!ඒ මනුස්සයට පරිස්සමින් ආදරෙ කරපන් මන්දාරම්....මොකද පුනරුත්තාපනෙ කරලා වත් ගොඩගන්නවත් බැරි ඇබ්බැහියක් අකාස කියන්නෙම

*

*

*

මා පුතා මේන් ටෝර්ච් එක...උඹලා එන්ඩ රෑ බෝවෙනව...තට්ට තනියෙන් එන්නෙ කොහොමද...

බේබි හාමු යන්ඩ ගියා.....නිකන් නෙවෙ....අනෙ ඒ උත්තමයා උගුරෙන් පහලට ගියපු බත්කටක් ගානෙම පින් දුන්නා.....දෙයියනෙ කියලා අද මන් දෙවංගියක් බත් පතක රහ කෙරුවා.....ලිපට කරාපු හාල්මැස්සන් හොද්දට මගෙ ඇස් වලින් වැටුන කදුලු කැට හන්දම ආයම ලුනුවතුර එකතු කරන්න බැරි තරමට බේබි මගෙ ඇස් ඇඩෙව්වා...

මැටිපැලට ගොඩවෙනකන් වත් අතේ තිබුන සිලිමල්ල කාටද නොකියාපු බේබි හාමු මගෙ අප්පච්චිගෙ අත් දෙකට සිලි මල්ල පිල්කඩ උඩට රූටන් ආව නිකිනිට පියරු බෝතලෙ ගුලි කෙරුවා විතරයි මගෙ පපුව මහ සද්දෙන් පිපිරුම් කෑවා....

බේබි යන්න ගියා.....ඒත් බේබිට බැරි උනා බේබිගෙ සුවද අරන් යන්න.....මුලු මැටි පිල්කඩම හාමුගෙ සුවද දරාගන ඉන්නකොට බත්ගෙඩියත් සමනගෙ අම්මා ඔතාගන ආව ඇදුම් කැඩුම් දෙකතුනත් පත්තර පිටුවෙන් ඔතගන පන් මල්ලට ඔබාගත්ත මං කාපුවා දිරවන්නත් කලින්ම ආපිට ඉස්පිරිතාලෙ යන්න දෙයියො බුදුන්ට කියාගනම මං වැටකඩුල්ල පැන්නා ....

මන්දාරම්....

ම්...මන්දාරම්.....

සමන් දෙයි...හාන්දුරුවනෙ...බේබි හාමු....

කඩුල්ල පහු කරලා අඩි දහය දොලහක් එන්න ඇති .....මන්දාරම්....මන්දාරම් ගගා හතිහලල හලා කෑගන් දුවන් ආව කලාත්ම හාමු දැකලා මට හීල්ලුනා....

බේබි හාමු....හාමු මේකොහෙ දුවනවද???

යන්....

යන් කියන්නෙ කොහෙද හාමු....

මාත් යන්නෙ....මා..මාත්...යන්නෙ....ඔයා යන දිහාවට තමා...

හාමු මං යන්නෙ ඉස්පිරිතාලෙ

ඉතින්...මාත් යන්නෙ එහෙ....ඉ...ඉස්පි‍රිතාලෙට එහා පැත්තෙ කඩේ මගෙ යාලුවෙක් ඉන්නවා....

තත්පරයක්....දෙකක්....තුනක් යන්න ඇති.....මං හාමු දිහාව බලගන උන්නා....හාමු බොරු කියන්ඩ පුරුදු වෙලා...ලා පාට සරමට අප්පච්චිට අදින්න බැහැයි කියලා අහක් කරපු අවුරුදු ගානක් පරන ශර්ට් එකක් ඇදන් උන්න මං ඩෙනිම් කලිමට කිඹුලෙක් මහපු අත් කොට ටී ශර්ට් එක ඇදන් කොස්පට්ටා සෙරෙප්පු දාන් හති හල හල බොරු කිය කිය මගෙ ඉස්සරහා උන්න හාමු දිහා බලාගන ඉදලා අහන්නෙ බලන්නෙ නැතුව දුවන් ඇවිල්ලම නලලට මතු උන දාබින්දුව පිහදැම්මා...

හාමු.....ඉස්පිරිතාලෙ එහා පැත්තෙ කඩ නෑ හාමු.....ඇයි මේබ බොරු කියන්නෙ.....

......මටත් එන්න ඕන කිව්වොත් මන්දාරම් මාව නවත්තන හන්දා....

හාමුපියුම් නවරත්න ගුරු මහත්තයා බනීවි...අද දවසම හාමුගෙ රස්සාව මගෙ පස්ස පාර වැටුන එක.....

දැන් ඔය කියන්නෙ මාව එක්ක යන්න බෑ කියලද.....?මේක හරි කෙලියක්නෙ.....පියුම් මොකට බනිනවද....පියුම් මං වගේ...අනික එයත් මන්දාරම්ට හරි කැමතියි...නවරත්න ගුරා බැන්නට මට රිදෙනවද.....උන්දැගෙ ගෙදර බේත් තෙල් ගදයි ඊට හපන්...ගුරු මායියාගෙ වැඩේම පඩින එක....උන්දැට වාතෙද කොහෙද.....පියුම් කාමරෙට ගියා ගියාමයි ආය ආවෙත් නෑ එලියට....ඇරත් ගුරාගෙ වැඩෙ පම්පෝරි ගහන එක.....මට දිරවන්නෙ නෑ.....මට ඕන මන්දාරම් එක්ක ඇවිද ඇවිද ඉන්න....

..........

ආපිට යන්න කියන්න එපා මන්දාරම්... පුලුවන් නම් මට ඔයා එක්ක මතක ටිකක් එකතු කරගන්න දෙන්න....එතකොට මට පුලුවන් ...මට...මට පුලුවන් සියපත්ට මේ හැම එකක්ම අකුරු කරන්න....

මං මොකුත් නොකියම ආපිට යන්න ආව ගමනම යන්න හැරුනා...කලාත්ම හාමු අතින් මගෙ සියපත්ගෙ නම කියවෙන වාරයක් වාරයක් ගානෙම මගෙ පපුව ගැහෙනවා...අනෙ මොන හේතුවටද මන්දා ඒ මහත්තයා ඉන්නෙ කොලඹ නෙවෙ මගෙ ගාවමයි කියලා දැනෙනවා....

මං ආවෙ නැත්තන් ඔයා ආපිට එන්නෙත් තනියම.....ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මං ආවෙ හොද වෙලාවට කියලා....

........

මොකද ලමයො ඔයා කතා නොකරන්නෙ.....?

......

ආ...මේක හරි කෙලියක්නෙ...මං ගිහින් සියපත්ට කියන්නම්කො මෙ ළමයා මහ නපුරෙක් කියලා....

.......

මන්දාරම්...ඔය අත් දෙකට ජාති ජාතිත් පින් මන්දාරම්...දවස් ගානකට පස්සෙ මගෙ බඩට බත් ඇටයක් වැටුනා.....අනික මන්දාරම්ගෙ කෑම රසයි....සැර චුට්ටක් වැඩි උනාට රසයි...ඔයා දන්නවද....ඔය අත් දෙකෙන් වතුරයි බතුයි දුන්නත් මට කන්න පුලුවන්

......

න්...නෑ...නෑ...දවසක සියපත් උනත් ඔහොම කියයි...මන්දාරම් දන්නවද.....තුන් හිතම අල්ලගත්ත මනුස්සයෙක් අතින් තිත්ත කරවිල කැව්වත් පැනිරහ දැනෙනවා කියලා.....ආදරෙ ප්‍රාතිහාර්‍ය කියන්නෙ ඕකයි මන්දාරම්....ඔයාට බැරිද සියපත්ට පුංචි ලියමනක් දෙන්න ....අඩුම ගානෙ.....මං ඔයාට ආදරෙයි කියල වගෙ....එතකොට....එයාට පුලුවන්නෙ....ඔය අකුරු දිහ බල බල හරි ඔයාගැන කල්පනා කරන්න.....

කොලොම්පුරට කවදාවත් කැලෑමල් සුවද දැනුන් නෑ මන්දාරම්...රත්වෙච්ච වැලිකැට පුපුරන කොලොම්තොටම කොන්ක්‍රීට් වනන්තරයක්....අඩුම ගානෙ ඔයාගෙ අකුරු වලින් හරි මල් සුවදක් දැනේවි .....

මං...ලියලා දෙන්නම්...හාමු.....

සෑහෙන වෙලාවකට පස්සෙ මං කලාත්ම හාමුට උත්තර බැන්දා...වෙන මොකටවත් නෙවෙ...හාමු කතා කරන වචනත් එක්ක මට හාමුව අහක දාන්න බැරි තරමට ඒ වචන මගෙ පපුව බදාගත්ත හන්දා.....

එකම දිගට හුස්මක් වත් නොගෙනම කතා කරපු හාමුට මං දුන්නෙ එක උත්තරයයි ...හාමුගෙ වචන බොරුයි කියන්න මට ඔප්පු උනා...

ප්‍රේමිය සත්මහල් ප්‍රාසාධ පිරුන කොලොම්පුර මැදත් නමක් නොදන්න මලක් මගෙ ඇස් පනාපිට පෙති දිගෑරියා!!!

මන්දාරම්...

බේබි හාමු....

සින්දුවක් අහමු.....මං ආයම ඔයා එක්ක මේ පාරෙ යන්න එන්නෙ කවදද කියන්න දන්නෙ නෑ....සමහර විට.....කලාත්ම කවදාත් මන්දාරම් එක්ක මේ පාරෙ යන්න එන එකක් නෑ....ඒ වෙනුවට සියපත් මේ පාරෙ මන්දාරම් එක්ක යන්න ඒවි....වියලි කලාපෙ අහසම මන්දාරමකින් බර වේවි ....ඉතින්...යන්න කලින් මන්දාරම්ට බැරිද මා එක්ක සින්දුව අහන්න.....?

බේබි හාමු ඕකත් ගෙනාවද ...

ම්ම්ම්.....ඔව්...මේක මගෙ හුස්ම වගෙ....මට වටිනවා හුගක්....

අර හතරැහ පෙට්ටිය......කාටක අවුපූටකෙ එනව මදිවට බේබි සින්දුත් අහන්න ලෑස්ති වෙනවා...කලාත්ම මේ පාරෙ ආපිට කවදාවත් යන්න එන්නෙ නෑ කියන් ගමන් අර වයර් එකක් මගෙ කනට හිර කරාපු හාමු අනිත් පාර ඉතුරු වයර් එක හාමුගෙ කනට හිර කරන් සින්දුවක් දැම්මා...ඔහෙ ඉදන් පාදාන්තෙම පුච්ච පුච්ච උන්න අවුකාටකෙ පවා මට ගානක් නැති උනා....

"මගෙ පුංචි රෝස මලෙ...මමයි නුඹෙ වියපත් බඹරා....."

අමරසිරි මහත්තයා වියපත් බඹරෙක් ගෙ ප්‍රේම සජ්ජායනයජ් ගැන කියනවා.....අමරසිරි මහත්තයා එක්ක කලාත්ම හාමුගෙ ගැඹුරු කටහඩත් මුහුවෙනවා...හුලන් කැටියක් ගල්පොත්ත හන්දියත්...පියදාස මාමගෙ මලගම උහුලාපු තැනත් පහු කරාන යන වෙලාවෙ සමාන්තරව ඇවිදන් ආව හාමුගෙත් මගෙත් අත්වල පිට අල්ලවල් දෙක ගෑවි නොගෑවි යනවත් එක්කම හාමුත් මාත් මූනට මූනබලාගත්තා...අමරසිරි මහත්තයට වඩා සද්දෙන් මගෙ පුංචි රෝස මලෙ මමයි නුඹේ වියපත් බඹරා කියපු කලාත්ම හාමුගෙ කටහඩ මගෙ කෙසග පපුවම අයිතිකරගත්තා....!!!

බෙනා.....

සුද්දයියෙ....

කොහෙ යන්නෙ...

සමනගෙ පැටියා ඉස්පිරිතාලෙ අයියෙ....පැටියා බලන්ඩ යනවා.....

නැගපන්....මං මෙ ඇද අරින්ඩ මෝලට යනගමන්...බස්සෙක ගාවට දාන් යන්නම්....

සින්දුව අහවර උනා...හැබැයි තව සින්දුවකට මාරු උනා.......බේබිත් නොදන්න සින්දුවක් නෑ කියලා මගෙ යටි හිත මා එක්කම කියවගන්න වෙලාවක ගුරුපාරම දෙදරවන් ලෑම්මාස්ටරයක් ඇවිදින් මගෙත් කලාත්ම හාමුගෙ ගාවිනුත් නවත්තනවා එක්කම මන් සින්දුවෙ සිහියෙන් ඉන්න කලාත්ම හාමුව නොදරුවෙක් ගානට පාරෙන් අයින් කෙරුවා....

සුද්දයියා....විසි හතර පුරාවටම චප්පෙ හපන...කවරදාකවත් උඩ කයට වස්තරයක් නොඇන්ද සුද්දයියා මනෝරත්න මුදලාලිට පෙට්‍ටි හදන්න ලී අදින එකා.....

ලී ගොඩක් පටවගත්ත සුද්දයියා ඇද අරින්ඩ මෝලට යනගමන් කියනගමන් කටෙ තිබුන බුලත් චප්පෙන් බේරෙන කෙල අහුරක් රතුම රතුපාටට එලිදානකොට මං කලාත්ම හාමු දිහා බැලුවා.....අනෙ මං අහන්නත් කලින් බේබි හාමු ගිහින් ලෑම්මස්ටරෙ පිටිපස්සට නැගලා ඉඩ තියන තැනකින් ඉදන් මගෙ දිහාව බැලුවා...හරියටම ඔයත් මෙතනට එන්න කියන්න වගේ.....

ගුරුපාරෙ දූවිල්ල ඇවිස්සුනා...මහ සද්දෙන් ඩක ඩක ගාන ලෑම්මස්ටරෙ ආයමත් පාරම දෙදරවන් යන්න යනකොට බේබි හාමුත් මාත් එකම ළඟ ඉදන් උන්නා.....සින්දු අහන් පාඩුවෙ යන්න ආසාවක් තිබ්බා උනත් සද්දෙ එක්ක මොන සින්දුද......

ආන් බස් එක එනවා.....

අයියෙ....පුලුවන් නම් අහක් මරා ලී ඩින්ගක් තියාපන් මගෙ කොල්ලට තොටිල්ලක් හදාගන්න.....

ඉස්පිරිතාලෙ ගාවට දෙන්නයි....

ඔය හැම දෙබසක්ම පිට උනෙ අපි තුන්දෙනාගෙන්...හාමු එක්කම ගැස්සි ගැස්සි ආව ලෑම්මස්ටරෙන් බහින්වත් එක්කම වංගුවෙන් මතු උන බස් එක දැකපු සුද්දයියා බස් එක එනවයි කියලා යන්ඩ යනවත් එක්කම බස් එක එනවා දැක දැකම මං ඒකට ලී කෑලි දෙකතුනක් තියන්ඩ කියල කෑගැහුවා....ඉස්පිරිතාලෙ ගාවට දෙන්නයි ...කොන්දොස්තරට යනතැන කියන්නත් කලින් ඉස්සර උන බේබි හාමු ටිකට් දෙක අරන් මගෙ දිහා බලලා එහෙන් පිටින්ම හිස්වෙලා ගියපු පස්සම ශීට් එක පෙන්නුවෙ රටක් රාජ්‍යක් ගානට වෙද්දි බේබි ගාවින්ම ඉදගත්ත මගෙ උරහෙ බේබිගෙ උරහෙට හාදුවක් තිබ්බා විතරයි නැවතිලා තිබුන සින්දුව ආයම පටන් ගත්තා...

හැන්දෑ ඉර ආකාස ගැබේ පාතට පාතට ගාටන් එනකොට ඒ අවුරැල්ල ඇවිදින් මගෙ මුනට හාදු තියාගන මං බලාගම හාමුවත් ඉඹින්ඩ හදනවා...ඉර එලියටත් තරවටු කරාපු මං වලාකුලක් ඇවිදින් ඉර මුවා කරන්නා වගෙ හාමුගෙ මූනට ඉර එලිය වැටෙන එක නැවත්තුවා.....

කවදාවත් නෑහුන තරම් ලස්සනට හාමුත් එක්ක ගෙවන් යන අවසන් හෝරා ගානෙදි මං අර හතරැහ පෙට්‍ටියෙන් සින්දුවක් ඇහුවා.....

කිසිම හැලහොල්මනක් නැති තැනකදි බේබි හාමු මගෙ කනට රහසක් කෙදිරුවා...

"ජන්මෙන් ජන්මෙ දිවි දීලා.....සටනින් අද මා දිනුවා..."

*

*

*

උඹලට බඩත් ගිනි ඇති නගෙ....කාපන් මෙ බත් ඩිංග.....

උඹලට බුදුබව හම්බෙනවා බෙනා අයියෙ.....

කෝ පැටියව දියල්ලකො....බුදුවෙලාම මටත් දැන් හති බන්....පැටියව දීලා උඹලා සැනසිමෙ කාපල්ලකො...

මමත් බේබි හාමුත් උන්නෙ ඉස්පිරිතාලෙ ඇතුලෙ...ඒ යනකොටත් අනෙ නොදරුවා අඩනවා.....ගරුඩා විදපු අමාරුව මදිවට පැටියගෙ අතට කටුවක් ගහලා තිබ්බා....අනෙ කොල්ලව දැක්ක විතරයි අප්පා කම ඊයෙ පෙරේදා ගත්ත මටත් නොදැනිම පිරිමි පයෝධරවල ක්ශීර නාලිකා පන ගැහුව වගේ ඇම්මක් ගියා....

සමනගෙ ගෑනි මේ දවසට තවත් වැරහිලා ගිහිල්ලා.....පැටිය එක්ක රැ පුරාවටම න්දිමරලද කොහෙද ගිලා බැහැල තිබ්බ ඇස් දෙක තවත් යට ගිහින් මදිවට අනේ රත ගහලා තිබ්බා....ගෙදරින් බැදන් ආව බත් මුල දුන්නා විතරයි අනේ ඒකිලා අත් දෙකම එකතු කරලා මට කල්පකාලාන්තරෙකට හිග නැතිවෙන්න පින් දුන්නා....

මා පුතා....නිවන්...මයෙ අම්මට කැක්කුමයි....

නාඩපල්ලා...නාඩපල්ලා....දෙයියා...මයෙ රත්තරම.....අප්පච්චි ආවනෙ.....පුතා.....මයෙ අම්මව හප්පෙක් රිදෙව්වා...ඕ....මයෙ කොල්ලව...

හා....හා...මයෙ කොල්ලා දොයියපල්ලා...මයෙ අම්මව රිද්දපු හප්පට අප්පච්චි ගිහින් තලන්නම්.....

මං උන්නෙ ඉස්පිරිතාලෙ කොරිඩෝවෙ...සමනගෙ ගෑනිට පාඩිව්‍ර් කන්න ඇරපු මං වේදනාවට දුක කිය කිය අඩන නොදරුවව තුරුල් කරන් කෝරිඩෝව පුරාම එහා මෙහා අරන් යනගමන් පැටියව නිදිකරවන්න හැදුවත් අනෙ මට බැරි උනා කොල්ලව නිදි කරවගන්න.....

ලමයව හොලව හොලව මං එහාටත් ගියා....මෙහාටත් ගියා.....ඒත් කොල්ලා නෙවෙ දුක කියන එක නැවැත්තුවෙ....

අනාරාධිත වැහි දරන්න බැරිව මහපොලවත් අඩන්නා වගේ තවමත් නුහුරු අප්පච්චි පට්ටම ගත්ත මගෙත් ඇස් තෙත් උනා කොල්ලව පරක් කරගන්න බැරිව යන තැන .....

මන්දාරම්...දෙන්න මගෙ අතට...

බේබි හාමු....

මෙච්චර වෙලාම වචනයක් නොකියා උන්න කලාත්ම හාමු මගෙ අතෙ උන්න පැටියව අතට අරගන පපුවට තුරුල් කරගන හිමීට එහා මෙහා වෙන්න ගත්තා.....අඩියෙන් අඩියෙන් එහා හරි හිමීට එහා මෙහා ගියා...ඒ චුට්ටකින්ම බෙහෙත් සුවද අරක් ගත්ත ඉස්පිරිතාලෙ කොරිඩෝවෙන් ලයාන්විත දරු නැලවිල්ලක් ඇහුනා.....

රාසින් දෙයියගෙ ලේ දාතුවකින් පන ගහපු පැටියෙක් නලවගන්න කියාපු සින්දුවක්ම මහපොලව යට සුවෙන් සැතපුන නිරිදෙක්ගෙ ලේ දාතුවකින් පන ගහන කිරිකැටියෙක් නලවගන්න සරන උනා....

කලාත්ම හාමුගෙ ගොරෝසු කටහඩ මෘදුවෙලා පැටියව නලවන්න ගත්තා.....

චන්දො මා බිලිදෙ නුඹ නාඩන්...... !!!

*.

*

*

අනේ..හාමු....උඹලා ගියාද...උඹලට තිස් තුන්කෝටියක් දෙවි රැකවරනයි කලාත්ම හාමු.......උඹලගෙ හිත හැමදාම සතුටින් තියෙන්න ඕන හාමු.....!!!

මහ පොලවට යන්තමට වැටීගන ආව ඉර එලිය මගෙ පැලෙ පිල්කඩ උඩ වැතිරෙන්නත් කලියෙන්ම මගෙ ඇස් තෙත් උනා.....

රැයක් පුරාවටම ඇවිලුන කුප්පි ලාම්පුවත් ඉකි ගහනකොට මගෙ අතෙ තිබුන හතරැස් කඩදහිය උඩට උනුවට කදුලු කැට අහුරක් වැටුනා....

"මන්දාරම්....පරිස්සමින් ඉන්න...දවසක සියපත් එක්ක මේ ගුරුපාරෙ ආදරෙන් අත්පටලවන් යන්න....මාව අමතක නොවෙන්න මේ පුංචි පින්තුරෙ මන්දාරම් තියාගන්න.....අමතක නොකර දහයෙ කනිසම අහන්න...ගල් ඇනිලම කකුල් තුවාල වෙනකොට් මට දුකයි....මගෙන් තැග්ගක් කියලා හිතගන්න....මටත් වඩා ඔයාග් කකුලට ඔය සෙරෙප්පු කුට්ටම හැඩට හිටීවි.....

ඉතින් මං නවතින්නම්...දවසක හම්බවෙනකන් පරිස්සමට ඉන්න....

දයාබර බෙනරගමට තිසරන සරන!!

මම කලාත්ම.

මගෙ පපුව ගැහෙනවා....ලියුන් හතරහට නවාපු ලියුම් කඩදහිය අස්සට බේබි හාමුගෙ අලුත්ම පර්ස් එකත් දාලා මදිවට අනෙ හාමුගෙ පින්තූරෙත් තියලා ගිහිල්ලා.....ඒ විතරක් නෙවෙ මගෙ පුංචි රේඩියෝවට දාන්න බැට්‍රි කෑලි අහුරකුත් එක්ක හාමු දපු අර කොස්පට්ට සෙරෙප්පු කුට්ටමත් තියලා බේබි හාමු පාන්දරම යන්න ගිහිල්ලා....

බේබි හාමුගෙ සුවද තැවරුන සෙරෙප්පු කුට්ටම මගෙ පපුවට තුරුල් කරගත්ත මං නිදි පැදුරෙම්ම ආඩාගන පාර දිහා බලාගන උන්නා....

උඹට තිසරන සරනයි රත්තරන් හාමු මහත්තයො....උපනුපන් ජාති ජාතිත් උඹට පින් මහත්තයො....!!

🥺❤️කලාත්ම ගිහිල්ලා...

හෙට අනිවාර්යයෙන්ම බෝනස් එකක් දෙන්නම්....අනෙ මට ලියාගන්න වෙලා මදි උනා.....සමාවෙන්න....ආදරෙයි...

හෙට අනිවාර්යයෙන්ම තව කෑල්ලක් දෙන්නම්...

සුභ උපන්දිනයක් බෙනරගම...!!❤️

WISH YOUR HAPPY BIRTHDAY BENARAGAMA!

More Chapters