WebNovels

Chapter 2 - දෙවන හමුවීම

අදට දවස් තුනක්. මම සීරුට මගේ හිතේ තිබුන දේ කියලා දවස් තුනකුත් වෙලා. මේ දවස් තුනටම සීරු මා එක්ක කතා කලේ නෑ. මං සීරු එක්ක කතා කලෙත් නෑ. වෙනස් වෙන්නෙ නෑ කිව්වට අපි දෙන්නම වෙනස් වෙලා. දවස ගානේ අනිවාරෙන් එක කෝල් එකක් හරි ගන්න අපි දෙන්නා මේ දවස් තුනට මැසේජ් එකකින්වත් කතා කලේ නෑ.

මම ආදරෙයි කියපු එක එච්චරටම ලොකු වරදක්ද...?

ඔව්. සමහරවිට එහෙම වෙන්න ඇති. ඒත් වලදානවා කියන හැඟීමෙන් මම දවස් තුනකට කලින් ගෝල්ෆේස් එකෙන් ආවට තාමත් ඒ හැඟීම එහෙමමයි. මම කොහොමද සීරු ගැන මගේ හිතේ තියන ආදරේ එච්චර ඉක්මනට අමතක කරලා දාන්නේ. සීරුව මට මගේ ලඟින්ම තියාගන්න ඕනේ. ඒත් මම ආදරෙයි කියපු එකෙන් වුනේ සීරු මගෙන් ඈත් වුන එක. 

" පුතා... මොකෝ කල්පනාව..."

සාලෙට වෙලා සෝෆා එකේ දපනේ දාලා හිටිය මන් කෙලින් වුනේ තාත්තා මගේ ළගටම ඇවිත් කතා කරපු නිසා. 

" මොනවද බල බල හිටියේ... මම කතා කරපු ගමන් ෆෝන් එක හංග ගන්න තරමට...?"

ආහ්හ්.. අම්මිගෙ ඇස් වලින් ගැලවුනත් තාත්තගෙ ඇස් වලින් ගැලවෙනවා බොරු. 

" මොකෝ කොල්ලගෙ මූඩ් අප්සට්.. මම දවස් දෙක තුනක ඉදන්ම බලාගෙන ඉන්නේ..."

" මුකුත් නෑ තාත්තා..."

" මුකුත් නැත්තෙ නෑ... මොකෝ සීරු ඔයාව රිජෙක්ට් කලාද...?"

මන් කිව්වේ. තාත්තගෙන් දේවල් හංගනවා බොරු. තාත්තා මටත් වඩා මන් ගැන දන්නවා. ෆෝන් එක හංගනවා දැක්කා වගේම මම ඒකෙන් බල බල හිටියෙ මොනවද කියන්නත් තාත්තා හොඳටම දන්නවා.

" ඔහොම කනට ගහන්න වගේ අහන්න එපා තාත්තා..."

" ආ ඒ කියන්නෙ රිජෙක්ට් කලාද...?"

තාත්තා හිනා වෙනවා. මම නම් ඉන්නේ දැන් ඇහැට කවුරු හරි ඇනලා ගියොත් ඇඬෙන තත්වෙක. ඒත් තාත්තා මාව විහිලුවට ගන්නවා.

" හපෝ තාත්තා..."

" අවුරුදු විසි නවයක් නේ දැන්..."

තාම ඉවරයක් නෑ. මගේ වයස ගැනම කියලා මොකාක් හරි කියන්න තමා තාත්තා මේ කට හදන්නේ.

" අවුරුදු විසි පහක් තිස්සෙ කරපු ලව් එකක් නේද ඉතින් දෙයියනේ මේ රිජෙක්ට් වෙලා තියෙන්නේ.."

ඔය කිව්වේ. මගේ අවුල ගැන තාත්තට ගානක් නෑ. එයාට ඕනෙම මාව විහිලුවට අරගන්න.

" ඇත්තටම මට ඔයාගෙ ජෝක් වලට හිනා වෙන්න තරම් මූඩ් එකක් නෑ තාත්තේ..."

" දන්නවද පුතා අවුරුදු විසි පහකට කලින් මේ ගෙදරට ආව එක ගැන මං දැන් පසු තැවෙනවා..."

" මොකක්... ඇයි ඒ... මෙහෙට ආවෙ නැත්තන් මට සීරුව මුණගැහෙන්නෙත් නෑ.. තාත්තා මොනව කියනවද මන්දා..."

මට දැන් නම් කේන්තිත් යනවා. අපි මේ ගෙදරට ආවෙ නැත්තන් මට සීරුව කවදාවත් මුණ ගැහෙන්නෙ නෑ. අපි මේ ගෙදරට එනකොට මට අවුරුදු හතරයි. මම අදටත් දන්නෙ නෑ UK වල ඉපදුන මාව පොඩි වයසෙදිම තාත්තා ලංකාවට එක්කන් ආවේ ඇයි කියලා. මගේ අම්මි ෆොරිනර් කෙනෙක්. ඒ කියන්නේ මගේ තාත්තාගෙ තරුණ කාලෙම ගෙවුනේ UK වල වෙද්දි එයා විවාහ උනෙත් විදේශ කාන්තාවක් උන මගේ අම්මි එක්ක. ඒත් ඉතින් අවුරුදු විසිපහකට කලින් අම්මිත් තාත්තා එක්කම මාවත් එක්කගෙන ලංකාවට එන්න කැමති වෙලා තියනවා.

" මට තාමත් මතකයි පුතා ඔයා සීරුව ඔයාගෙ බබා කියලා පලවෙනියටම හරිම අමාරුවෙන් වඩා ගත්ත දවස..."

මට ඉබේටම සුසුමක් පිට වුනා. අතීතාවර්ජනය හොදයි. ඒත්... දැන් ඒ දේවල් මතක් කලාම මම සීරුව මගෙන් බලෙන්ම ඈත් කර ගත්තදෝ කියන මහ වරදකාරී හැඟීමක් මට දැනෙනවා.

ඒ කාලේ දේවල් මට ලොකුවට මතක නැතත් මම සීරුව දැකපු පලවෙනි දවස එයාගෙ චූටි අත් මගේ චූටි අත් වලින් අල්ලපු දවස නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

" ඉතින් මම විහිලුවට උනත් අවුරුදු විසි පහක ලව් එකක් කියලා කිව්වේ ඇත්තටමයි පුතා..."

අපි මේ ගෙදරට එනකොට සීරු චූටිම චූටි බබෙක්. එයාට එතකොට අවුරුද්දයි. ඉතින් එයාට වගේ මටත් සහෝදර සහෝදරියො හිටියෙ නෑ. ඉතින් ඒ නිසාමද කොහෙද මායි සීරුයි ගොඩක් ළං වුනෙත්. අපි දෙන්නගෙ බැදීම නිසාම අපේ දෙමව්පියොත් ගොඩක් ළඟින් ආශ්‍රය කලා. අසල්වාසීන් කියන ටැග් එකෙන් එහාට ගිහින් අපි හරියට එක පවුලක් වගෙ තමයි හිටියෙ. ඇත්තටම අපි තාමත් එහෙමයි.

" පොඩි කාලෙදි නම් මම දන්නෙ නෑ තාත්තා... ඒත් මට දැනෙන වයස එනකොට මම දන්න කාලෙ ඉදන්ම ආදරේ කලේ සීරුට විතරයි..."

" එහෙනම් ඉතින් ඔහොම ඉදලා හරියනවද පුතා..."

" මම මොනවද කරන්නේ... සීරුට මං ගැන කිසිම හැඟීමක් නෑ කියලා දැන දැනමයි මම හිත රවට්ටගෙන සීරුට ආදරේ කලේ..."

" ඒ කියන්නෙ මගෙ පුතා වැඩේ අත් අරිනවද...?"

" මට සීරුව බලෙන් ළඟට ගන්න බෑනෙ තාත්තා..."

තාත්තා එක්ක කතා කරන එකෙන් වෙන්නේ තවත් මගෙ මූඩ් අවුල් යන එක. ඒ නිසාම තාත්තගෙ කතාව මග ඇරලා මම එන්න ආවත් තාත්තා ලෑස්ති නෑ එයා පටන් ගත්ත කතාව මගින් නවත්තන්න.

" මම දන්න මගේ පුතා ශෙවාන් තමන්ට ඕනෙම වුන දෙයක් හරිම අහිංසක විදියට අත් අරිනවා දැක්ක පලවෙනි වතාව..."

" සීරු කියන්නේ මට බලෙන් ළඟ තියාගන්න පුලුවන් දෙයක් නෙවේ තාත්තා. ඒ මන් ආදරේ කරන මනුස්සයා..."

" ඕකේ... ඔයාට බැරි නම් මං ඒක මගේ විදියට කරන්නම්... ක්‍රිස්මස් පාර්ටි එකට කලින් සීරු එක්ක කතා කරන්න... එයා ඔයාව මග ඇරියත් ඔයා එයාව මග අරින්න එපා පුතා..."

" තාත්තා මොකක්ද කරන්න හදන්නේ..."

" කරන්න තියන හොඳම වැඩේ... සීරු ඔයා ගාවට එයි... ඒකත් නිකන් නෙවේ මගෙ බෑණා වෙලා... ඒ නිසා මං කිව්ව විදියට ඒ දරුවව මග අරින්නෙ නැතුව කතා කරන්න... ඒ කොල්ලා හිතුවක්කාර වුනාට ඔයා ඉස්සරහදි එහෙම නෑ... හරියට ඔයත් සීරු ඉස්සරහදි විතරක් කාම් මනුස්සයෙක් වෙනවා වගේ..."

මම තාත්තා දිහා බැලුවේ පුදුමෙන්. එයා කරන්න හදන දේ ගැන මගෙ ඔලුවට කිසිම දෙයක් ආවෙ නෑ. ඒත් මං එක දෙයක් දන්නවා එයා දෙයක් කරනවා කිව්වොත් අනිවාරෙන්ම කරනවා.

" ඒත් තාත්තේ..."

" ඒත් මේත් මුකුත් නෑ... මං කියපු දේ විතරක් කරන්න.. ආ අනික් දේ මං එනකොට ඔයා බල බල හිටිය ෆොටෝස් වලින් කීපයකුත් මට එවලා තියන්න..."

" තාත්තා මොකක්ද කරන්න හදන්නේ..."

" ඔයා දන්නවනේ පුතා ඕනෑවට වඩා ප්‍රශ්න අහන එකට මං කැමති නෑ.. ඒ නිසා මං කිව්ව දේ විතරක් කරන්න... ආ අනික ඔයාගෙ තියන ප්‍රෙශර් එක ඔෆිස් එකේ මිනිස්සුන්ගෙ පිටින් යවන්න ලෑස්ති වෙන්නත් එපා...!"

තාත්ත එහෙම කිව්වම නම් මට මතක් වුනේ පහු ගිය දවස් දෙක. පහුගිය දවස් දෙකේම මම නැති වැරදි වලටත් ඔෆිස් එකේ මිනිස්සුන්ට බැන්නා. ශුවර් ඒ මිනිස්සු ගිහින් තාත්තටම මං ගැන කම්ප්ලේන් කරන්න ඇති. එහෙම කලේ නෑ කියලවත් මට කියන්න විදියක් නෑ මම ඇත්තටම හතර පස් දෙනෙක්ටම මගෙ යකාව පහුගිය දවස් ටිකේ පෙන්නුවා.

" දැන්ම යන්න... සීරුත් අද නිවාඩු ඇතිනේ. මතකනේ ක්‍රිස්මස් පාර්ටි එකට කලින් දෙන්නා එක්ක පරන පුරුදු විදියට ඉන්න ට්‍රයි කරන්න..."

" මට ශුවර් කරන්න බෑ තාත්තා. ඒත් මම ට්‍රයි කරන්නම්.."

තාත්තා කියනවා වගේ මම සීරු ඉස්සරහ වෙනස්ම ශෙවාන් කෙනෙක්. මට කලින් මං හිතන්න ඕනෙ මගෙ සීරු ගැන.

තාත්තා කිව්ව නිසාම නොවුනත් මම සීරුට කෝල් එකක් අරන් එයාව හම්බවෙන්න ඕනෙ කිව්වම සීරුත් කිසිම ප්‍රශ්නයක් නැති ගානට හා කියලා කිව්ව නිසා මම මේ දැන් ඇවිත් ඉන්නේ දියත පාක් එකට. ඉර පායනවා වගේ කිසිම කලබලයක් නැතුව මගේ හිතේ හැඟිම් දළු දැම්මට මොකද ඒ සේරම දේවල් ගහගෙන ගියේ නම් කුනාටුවක් ආපු ගානට.

එක්කො මට මීට වඩා ඉක්මන් වෙන්න තිබ්බා. එහෙම වුනා නම් මට සීරු එක්ක මේ දේවල් හෙමින් විසදගන්න පුලුවන් විදියේ පාරක් හොයාගන්න තිබ්බා. ඒත් ඉක්මන් උනත් සීරුගෙන් ලැබෙන උත්තරේ මීට වඩා වෙනසක් වෙන්නෙ නෑ.

සීරු එනකන් මග බලන් ඉන්න නිසාමද කොහෙද එකට එකක් වෙනස් දේවල් මගේ ඔලුවෙ සක්මන් කලා. සීරු එන්න වෙලාව පහු වෙන වාරයක් ගානෙ හිතනවටත් වඩා සීරු, මගෙන් ඈත් වෙලාද කියන දේ ගැන ලොකු බයක් ඇති වෙනවා.

ඈත තියාම සීරු එන හැටි මගේ ඇස් වලට අහුවුන ගමන් මගේ මූණට හිනාවක් ආවත් ඒ හිනාව තත්පරයක්වත් මගෙ මූණෙ රැදුනෙ නෑ කියන්න මං දන්නවා. සීරු එනවා. ඒත් තනියම නෙවේ. කෙල්ලෙක්. ඔව් සීරු එක්ක දැක්කම ලස්සනයි කියන්න පුලුවන් හරිම ප්‍රොෆෙශනල් පෙනුමක් තියන කඩා හැලෙන දිග කොන්ඩයක් තියන ඇත්තටම ලස්සන කෙල්ලෙක් එනවා. ඒ වගේම සීරු හිටියේ ඒ කෙල්ලගෙ අතිනුත් අල්ලන්. සමහරවිට සීරු මේ දවස් වල යාලුවෙලා ඉන්න කෙල්ල මෙයා වෙන්න ඇති.

සිරාවටම ලව් නෑ කිව්වට මොකද සීරු වෙන කෙනෙක් එක්ක එහෙම ඉන්නවා දකින එකම මාව පිස්සෙක් කරනවා. ඒත් මට සීරු ඉස්සරහා තරහා අරන් කෑ ගහන්න බෑ. මට එහෙම කරන්න කලින් තරම්වත් දැන් අයිතියක් තියනවද කියන්නවත් මම දන්නෙ නෑ. ඒත් සීරුට තිබ්බා එන්න කලින් මට මේ දේ ගැන කියන්න. එයා එක්ක තව කෙනෙක් එනවා කියලා කියන්න බැරි තරමට අපි ඈත් වුනේ කොහොමද.

" සීරු... ඔයා තනියම නෙවෙයි නේ ඇවිත් තියෙන්නේ..."

සීරු මං දිහා බලලා ලාවට හිනා වුනා. ඒත් මං සීරුගෙ ඇස් මගේ ඇස් වලින් අල්ල ගන්න කලින්ම සීරු මගේ ඇස් මග ඇරලා අර කෙල්ල දිහාවට එයාගෙ ඇස් ගෙනිච්චා. වෙනදට සීරුගෙ මූන දිහා බලලා හැඟීම් කියවන මට අද සීරුගෙ මූනෙන් කිසිම හැඟීමක් කියව ගන්න බැරි වුනා. මට කේන්තී. ඒත් මට කේන්ති ගන්නවත් අයිතියක් නෑ කියන දේ මතක් උන නිසාම මං මගේ අතමිට මොලවගෙන ඒ කෙල්ල දිහා බලලා යාන්තමට හිනාවුනා.

" ආ ඔව් කියන්න බැරි උනානේ ශෙවාන්... මේ ඉන්නෙ ඔෆිස් එකේ මගෙ යාලුවෙක්... හිමාරා මේ ඉන්නෙ ශෙවාන්..."

ඒ කෙල්ලත් මා එක්ක ආපස්සට හිනා වුනා. එතකොට මම ශෙවාන්. නිකන්ම නිකන් ශෙවාන් විතරද සීරු.

" හිමාරා හිටියට කමක් නෑනෙ ශෙවාන්..."

" ම්ම් කමක් නෑ බබා..."

මම දන්නෙ නෑ කොහොමද ඒ අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ කියලා. කමක් නැද්ද.. නෑ එහෙම තුන්වෙනියෙක් මෙතනට කීයටවත් ඕනෙ නෑ. ඒත් මට එහෙම කියන්න පුලුවන් කමක් නෑ. ඒ නිසාම මම සුපුරුදු විදියටම සීරුට බබා කියලා කතා කරනකොට ඒ කෙල්ලගෙත් ඇස් ගැස්සුනා.

" ශෙවාන්..!"

" එයා හිටියට කමක් නෑ බබා.. මම කිව්වනේ.. මම මේ කලින් එහෙම ඇහුවේ ඔයා මට වෙන කෙනෙක් එනවා කියලා කලින් කිව්වෙ නැති නිසා..."

සීරු මගෙ නම ටිකක් බර කරලා කිව්වේ මම 'බබා' කියපු එකට ප්‍රතිචාරය හැටියට උනත් මං කිසි වෙනසක් නොපෙන්නා හිටියෙම ඒ දේ ගනන් නොගෙන. ඒ කෙල්ලත් ආයෙම ලාවට හිනාවෙලා අපි ඉන්න තැනින් පොඩ්ඩක් එහාට ගියේ අපිට ඉඩ දීලා වගේ. මට කොහෙත්ම දැන් ඒ කෙල්ලට අවදානය දෙන්න ඕනෙ නෑ. මට වැදගත් එකම කෙනා දැන් අමුතු රැවිල්ලක් මූනෙ තියාගෙනම මං දිහා බලන් ඉන්නවා.

ඒත් මේ හැඟීම මහ අමුතුයි. මම හොදින්ම දන්න කෙනෙක් මාව දන්නෙ නැති ගානට ඈතින් ඉන්නවා වගේ. කලින් දන්න ආගන්තුකයෙක්. දැන් සීරුගෙ ඇස් කියවන්න මට ආයෙම පුලුවන් උනා. එයා ඉන්නේ තරහින්. ඒත් එක්කම ඒ ඇස් වල මහ අමුතු කලකිරීමක් තිබ්බා. ඒක ඇත්තටම කලකිරීමක්ද දුකක්ද කියන්න මට වෙන් කරලා අදුර ගන්න බෑ.

සීරු එක වචනයක් කතා කරන්නෙ නෑ. හරියට සේරම දේවල් මගේ කර පිටින් තියලා වගේ. ඒත් මගේ සීරු එහෙම කෙනෙක් නෙවේ. මම මේකට වෛර කරනවා. අපි දෙන්න අතර මේ තියන අමුතු දුරස්ථ කමට මම වෛර කරනවා. අපි අතර මේ තියන අමුතු ටෙන්ශන් එකට මම වෛර කරනවා. 

" මට.. මට ඔයාව බලන්න ඕන වුනා බබා.."

මම වචන ගැලපුවට සීරු තාමත් එක වචනයක් කතා කලේ නෑ.

" මම දන්නවා මම... මම හැමදේම අවුල් කලා නේද බබා.. හැමදේම... මට ඔයාට කලින්ම කතා කරන්නත් තිබ්බා... මට හෙමීට හරි දේවල් හරි ගස්සන්න තිබ්බා... ඒත් මම දන්නෙ නෑ මොකක්ද කරන්න ඕනෙ කියලා..."

" ඔයා බය වෙලාද ඉන්නේ...?"

" ආහ්..?"

" ඔයා බය වෙලාද ඉන්නෙ ශෙවාන්...?"

සීරුගෙ වචන හරි තියුණුයි. ඒත් ඒ වචන වල මහ අමුතු වේදනාවකුත් නොතිබ්බා නෙවේ.

" ඔයාට හිතුනෙ නැද්ද මාත් බය වෙනවා කියලා... ඔයා මට කතා කරන කල් මම බලන් හිටියා කියලා..."

ඒ කියන්නෙ මම ආයෙම එයාට රිද්දලද. මම කතා කරන කල් එයා බලන් හිටියද. ඇයි මේ වචන මෙච්චරටම තද. ඇයි අපිට වෙනද වගේම උබ බන් බොලන් කියලා කතා කරන්න බැරි.

" එහෙම දෙයක් නෙවේ බබා... මං ඔයාව කොච්චරනම් කෙයා කරනවද කියන දේ ඔයා දන්නවා..."

" නෑ මං දන්නෙ නෑ...!"

" මට ඔයාට තව රිද්දන්න ඕන වුනේ නෑ... මේ දේවල් තව නරක් කර ගන්න මට ඕන වුනේ නෑ... ඒකයි මම පහුගිය දවස් තුනේ කතා නොකලේ... මම... මම ආදරෙයි නේ සීරු... මම ඔයාට ආදරෙයි..."

සීරුගෙ මූණෙ කිසිම වෙනසක් නෑ. අදත් මම එදා කියපු වචන දෙක කිව්වට සීරුගෙ මූණේ කිසිම වෙනසක් වුනේ නෑ. මම සීරුගෙ අතකින් අල්ල ගන්න හැදුවත් සීරු ඉක්මන් වෙලා කොන්ක්‍රිට් ටේබල් එක උඩ තිබ්බ එයාගෙ අත අහකට ගත්තා.

" ඔයා මට ආදරෙයි...? "

සීරුගෙ මූනේ ඇදුනේ මලානික හිනාවක්. ඒ කටහඬ මෘදු වුනත් හරි ගැඹුරුයි.

" ඒක එහෙම වෙන්න බෑ ශෙවාන්.."

එයා මගෙ ආදරේ අවිශ්වාස කරනවා. ඔව් ඒක එහෙම තමා. එයාට දැනෙන්නෙ මං බොරුවක් කරනවා වගේද. මනුස්සයෙක්ට කම්මුල රත් වෙන්න පාරක් වදින්න ඒක වෙන කෙනෙක්ගෙ අතකින්ම වදින්න ඕනෙ නෑ කියලා මට තේරුනේ අද. සීරුගෙ වචන... ඒ වචන එක වෙලාවකට පපුව හාරන් යන පිහි පාරවල් වගේ තව වෙලාවකට කම්මුල රත් කරන කම්මුල් පාරවල් වගේ.

" මම කිව්වනේ... මම ඒ දේ පිලිගන්න ලෑස්ති නෑ... මං ඒ දේ විශ්වාස කරන්නෙත් නෑ..."

" ඇයි.. ඇයි ඔයාට ඒක පිලිගන්න බැරි බබා..."

මගේ වචන ගැන මටම විශ්වාසයක් නෑ. මේ වචන මගේ කටින් මට ඕන විදියට පිටවෙනවද කියන්නවත් මම දන්නෙ නෑ.

" මම ඔයා වෙනුවෙන් ඉන්නවා සීරු... මම අද වෙනකන් ඔයා වෙනුවෙන් හිටියා... ඒක ඉස්සරහටත් එහෙමයි... ඉතින් ඇයි... ඇයි මගේ හැම වචනයක්ම විශ්වාස කරන ඔයාට මම කියපු මේ වචන දෙක විතරක් විශ්වාස කරන්න බැරි..."

ඔයා මොනවද හංගන්නෙ සීරු. මගෙ ඇස් දිහා කෙලින් බලන්න බැරුව ඔයා මොනවද මට හංගන්නේ. ඇයි වචන ගලපන වාරයක් ගානෙ මගෙ ඇස් මග අරින්නේ. මොනවද ඔයා මගෙන් ඔච්චරටම හංගන්නේ.

" අයියේ...."

" කියන්න බබා... ඇයි...? මට ඇයි කියලා විතරක් කියන්න..."

" මට බයයි... මම ඔයා ගැන මගේ හිතට විශේෂ හැඟීමක් දැනෙන්න දුන්නොත් මොනවා වෙයිද කියලා මට බයයි... අපි අතරේ මොනවා වෙයිද කියලා මට බයයි... මට ඒ වගේ අවදානමක් මගෙ ජීවිතේට ගන්න ඕනෙ නෑ... අපි අතර හැමදේම විනාස වෙලා යයි කියලා මගේ හිතට දැනෙන දේකට මට දැන දැනම අපි අතරට එන්න දෙන්න ඕනෙ නෑ..."

ඒත් ඇයි. සීරුට මෙච්චරටම බය හිතෙන්න තරමට. එහෙම වෙන්න බෑ. මේ මමනේ. මම ශෙවාන්. සීරුට ළඟම කෙනා මං වෙලත් ඇයි මේ.

" එදා කිව්වා වගේම මට මගේ හොදම යාලුවව මගෙ සහෝදරයව නැති කර ගන්න බෑ..."

ඒත් දැනටමත් ඒක එහෙම වෙලා නේද සීරු.

" ඔයාගෙ හිතට විතරක් ආව හැඟීමක් නිසා අපි දෙන්නා අතර දැනටම තියන දේවල් මට විනාස කරගන්න ඕනෙ නෑ..."

සීරුගෙ පැත්තෙන් එයා හරි ඇති. අපි අතර බැදීමක් තියනවා. අපි දෙන්නම ඒ බැදීම විනාස වෙලා යනවට කැමති නෑ. ඒත් දැනටම ඒ බැදීම ටික ටික පලුදු වෙන්න අරන් නම්. මං ඒ කියන්නේ... මම හැමදේම විනාස කලාද...

" මම... මම අපි අතර තියන බැදීම විනාස කලාද සීරු...?"

මෙච්චර බර වචන අපි කතා කලේ කවද ඉදන්ද සීරු. ඇයි අපි මේ කතා කරන හැම වචනයක් ගානෙම මේ විදියේ අමුතු බරක් තියෙන්නේ.

" මට ඔයාව ඕනෙ සීරු... මේ මොහොතට විතරක් නෙවේ... හැමදාටම... මගෙ හොදම යාලුවා විදියට විතරක් නෙවේ මම ආදරේ කරන එකම මනුස්සයා විදියට..."

" ඔයාට මං ඉන්නවා ශෙවාන්.. ඒත් හොදම යාලුවා විදියට විතරක්..."

" මින් එහාට යාලුකමක්... මං හිතන්නෙ නෑ සීරු... ඔයා හරි මම හැමදේම විනාස කලා..."

" නෑ ශෙවාන් එහෙම දෙයක් නෙවේ..."

" මට දැන් ටිකක් තනියම ඉන්න ඕනෙ සීරු... මම යනවා..."

මම බෙන්ච් එකෙන් නැගිට්ටේ සීරුගෙ සිනිදු කොන්ඩේ අත ගාන ගමන් වෙද්දි සීරු ඒ අත තද කරලා අල්ල ගත්තා.

" මාව දාලා...? දැන් මාව මෙතන තනියම දාලා තමුසෙ යන්නද හදන්නේ..."

" ම්ම් නෑ... ඔයා තනියම නෙවේනෙ ආවෙ සීරු... ඔයාගෙ යාලුවා.. අර... එයා බලන් ඉන්නවා..."

මවා ගත්ත හිනාවකින් මම ඒ හිමාරා කියන කෙල්ල දිහත් බලලා සීරුට කිව්වම සීරු මගෙ අත අත් ඇරියා. ඒ එක්කම වගේ මං යන්න නැගිටලා හිටිය නිසාද කොහෙද ඒ කෙල්ලත් සීරු ලගට ආවා. ආයෙම ඒ දෙන්න දිහාවට බැල්මක්වත් එල්ල නොකරපු මම එතනින් එද්දි මට පලවෙනි වතාවට ඒ කෙල්ලගේ කටහඬ ඇහුනා.

" පින්සර... ඒ එයාද...?"

ඒ කෙල්ල සීරුගෙන් ඇහුවේ එච්චරයි.

__________________

ඉක්මනින් මම මේකෙ කොටස් ටික දෙන්න ට්‍රයි කරනවා...

KimKoya

- 21/12/24 - 

More Chapters