WebNovels

Chapter 3 - තෙවන අවශේෂය

හැම කෙනෙක්ගේම ජිවිත වල අපිට වෙන්වුන භුමිකාවක් තියෙනවා. ඒ අයගේ ජිවිත වල අපිට ලියවිලා තියෙන තැන තීරණේ වෙන්නෙ ඒ ඒ අයට අපිව කොච්චර එයාලගේ ජිවිතේට වැදගත්ද කියන එකත් එක්ක.

අපේ ජිවිත කතාවේ ප්‍රධාන චරිතේ වෙන කෙනාගේ ජිවිතේ, අපි තවත් සහය නලුවෙක් වෙන්නත් පුලුවන්..

ඉතින් සීනු... ඔයාගේ කතාවේ මගේ භූමිකාව මොකක්ද? ප්‍රධාන චරිතයක්ද නැත්තන් සහය නලුවෙක්ද.. එහෙමත් නැත්තන් මන් තවත් දන්න කෙනෙක් විතරක්මද!... ඇත්තටම ඔයාගේ ජිවිතේ මම කොහෙහරිම ඉන්නවද සීනු.?

රාස්සිගේ අව්වට වඩා සැරට දැනුන සීනුගේ වචනත් මතක් කරන් මං මහී එක්ක නුගේගොඩ හන්දියට ඇවිදන් ගියේ වෙනදා වගේ සීනු එනකන්වත් ඉන්නේ නැතුව.. සීනු වචන වලින් මට රිද්දපු මුල්ම වතාව මේක නොවුනත් පිට කෙනෙක් ඉදිරියේ මාව පිටස්තරයෙක් කරද්දි හිතේ හැම සියුම් කොනක්ම රිදුනා නොසෑහෙන්න...

"මෙන්න මේ අයිනට වරෙන් බන් උඹට සිහියකින් පාරේ යන්න බැරිනම්.. අනික මොකද මේ උබ කවදාවත් නැතුව බස් එකේ යන්න හිතිලා.. කෝ උබේ පොඩි අයියාවත් නැද්ද අද.."

"ඇයි මට බස් වල යන්න තහනම්ද මහීයෝ.. අනික උඹ ඉන්නේ..මොකටද වෙන කවුරුවත්. කචබචේ නවත්තලා යමන්කෝ..."

මහීයි මායි දෙන්නම යන්නේ එකම පැත්තට නිසා අපි දෙන්නම සෙනඟ අඩු බස් එකක් බලලා නැග්ගේ හිටගෙන යන්න ලොකු ආසාවක් නැති නිසා. ජනෙලේ ගාවම වාඩි වෙලා මගේ සිතුවිලි එක්ක තනි වෙන්න හිතන් earbuds දෙක කනේ රඳවගන්න ගියත් බස් එකේ දාලා තිබුන සින්දුවකට මගේ අවදානේ ගියා...

දෙලොවක් අතරේ සරන ඔබේ හිත

මෙතරම් සසැලෙන් නැතුව ඇති..

ඔබ මගේ මුළු ලෝකයම නිසා මට

වැඩියෙන් දුක දැනෙනවා ඇති..

විඳින්න දුන් ජිවිතය අරන් මම

විඳවන්නද මේ භවය පුරා...

සින්දුවත් එක්කම යට ගිය සිතුවිලි උඩට මතු වුනේ මටත් හොරෙන්.. මට මෙච්චරම රිදෙන්නේ ඇයි සීනු.. මේ තරම්ම දුක හිතෙන්න තරම් ඔයා මගේ කව්ද??

"මහී, තාම බස්වල සින්දු දාන්න දෙනවද බන්.. මනුස්සයෙක්ට පාඩුවේ බස් එකක යන්න නෑනේ.."

"අනේහ් බන්, උබට අහන් ඉන්න බැරිනන් ගහගනින් ඔය ඇබ දෙක කනේ.. නැත්තන් කෝල් එකක් දීපන් පොලීසීයට මෙන්න මේකේ සින්දු දාලා ඇවිත් දඩයක් ගහන්න කියලා..."

අම්මපා මුන් එකෙක්ට බෑනේ හොඳින් වචනයක් කතා කරන්න. එකීට මන් රවලා ජනේලේ පැත්තට හැරුනේ ඇත්තටම මේ හිතට දැනෙන නොරිස්සුම කා වෙනුවෙන් ඇතිවුන එකක්ද කියලා හිතාගන්න බැරුව.. කා ලඟද මගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ..

"මහී, ආදරේ කියන්නේ මොකක්ද, උඹට කොහොමද ඒක දැනෙන්නේ??"

නොනවතින සිතුවිලි හමුවෙ මන් ඒ ප්‍රශ්නේ මහීගෙන් ඇහුවේ අපි අතර නිහඬබව බිඳිමින්..

"හහ්!! ආදරේ... ඉව්ව්.. කන දෙයක්ද බන් ඒ?..

ම්ම්ම්.. උබ අහන නිසාමයි කියන්නේ, මට නම් ආදරේ කියන්නේ ඩයිනමොර් එකේ සබ්මැරීන් එකක් කනවා වගේ.. දකිද්දි කාගෙන කාගෙන යන්න හිතෙනවා.. කාගෙන යද්දි දැන් ඇති බන්ඩි ෆුල් කියලා හිතෙනවා.. අහක දාන්නත් බැරි නිසා ඒත් අමාරුවෙන් කනවා.. තව නම් එපා කියලා හිතෙනවා. හැබයි ඔය මොනවා වුනත් ආපහු දවසක ඇවිල්ලත් කනවා.."

"ඔච්චර අමාරුවෙන් ඇයි ඉතින් කන්නෙ.. නොකා වෙන දෙයක් කාපන්කෝ.. උඹෙන් ඇහුවට වඩා හොඳයි මන් සබ්මැරීන් එකක් කාල ප්ලෙන්ටියක් බොනවා.. අඩුමගානේ කියපන් කොහොමද දැනගන්නෙ කෙනෙක්ට අපිව ඕනේද එපාද කියන එකවත්..."

මාත් ඉඳලා ඉඳලා හිතේ තියෙන දේවල් කතා කරන්න තෝරගත්තෙ පුදුම කෑම දාසයෙක්ව. ඒත් මහී කිව්ව කතාවේ ඇත්තකුත් නැතුව නෙමෙයි.

"ඇයි දැන් උඹට කාගේ හිතද දැනගන්න ඕනේ.. උබට ලවක් වත් පහළ වෙලාද...

"හම්මට යුවීයෝ.. උබට කොහොමත් හොඳ හෝටලයකින් කන්න සෙට් වෙයි වගේ.. එක පාර හැරිලා බලන්න එපා හොඳේ.. ශේප් එකේ බලපන් අපේ වම් පැත්තෙන් හිටන් ඉන්නෙ කව්ද කියලා.."

මහී මුලින් අහපු දේට ප්‍රතිචාර දක්වන්නත් කලින් මගේ ඔලුව ක්ෂණීකව ඒ දිහාවට හැරුනේ මහී එපා කියද්දි හැරිලා බලලා. එතන මගේ ඇස් හෙව්ව රූපේ වෙනුවට හිටියේ සුදු ෂර්ට් එකක්.

"අම්මපා යකෝ, හැරෙන්න එපා කියද්දි ඇයි බන් බූරූවෙක් වගේ හැරුනේ.. නාදිව් කවදාවත් මන් මේ බස් එකේ යනවා දැකලාම නෑ. මූ මොකාටද මේ එන්න හදන්නේ.. "

"මොකාට ආවත් කමක් නෑ අපිට මොකද බන්. අනික ඒ ලමයා උඹෙන් අහලද බස් වල යන්නත් ඕනේ.."

"මන් හූනා කිව්වා වගේ කියන්නේ යුවීයෝ.. මූනම් උඹේ ජිවිතේට එන්නේ මඟින් බැහලා යන්න බලන් නම් නෙමෙයි වගේ.."

මේකීගේ වස් කටට පින් සිද්දම වෙන්න වගේ නාදිව් අපි ඉන්න සීට් එක පැත්තට හැරිල හිටගත්තේ මූණේ සන්ලයිට් හිනාවකුත් දාගෙන.. ඕවාට අහුවෙන කෙල්ලොත් ඉතින් ඇති..! හරි.. එයා හැන්ඩ්සම්!! ඒත් මගේ ටයිප් නෙමෙයි...

"යුහස්වී, මන් නම කිව්වා හරි නේද? මන් නාදිව්..

රෙයෝන් නාදිව්... උදේ වුනදේට මට සමාවෙන්න.. ඔයාට කරදරයක් වෙන්න හිතුවේ නෑ.. මගේ අතින් වුනේ වැරැද්දක්.."

නාදිව් එයාගේ මූණෙන් විතරක් නෙමෙයි ඇස් වලිනුත් හිනාවෙන ගමන් සමාවගත්තේ මට කිසිම අදාල නැති දේකට.. එයාට කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරි නිසා මන් නිශ්ශබ්දව හිටියා.. මහී ගල් පිළිමයක් වගේ ඉස්සරහ බලන් හිටියේ අනෙහ් මන් මෙතන නෑ උබලා කරන් පලයන් කියන්න වගේ..

"හ්ම්ම්.. ලේසියෙන් සමාව දෙන්න බැරිනම් මේක අරගෙන හරි සමාව දෙනවද.. මං බල කරන් නෑ..

අනික මං අර චිට් එකේ ඇහුවේ ක්ලාස් ඉවර වෙලා පොඩ්ඩක් පහල ඉන්න පුලුවන්ද කියලා විතරයි "

ඒ එක්කම නාදිව් මගේ දිහාවට දිගු කලේ දම් පැහයෙන් හැඩවුන පොතක්.. නිකන්ම නිකන් පොතක් නෙමෙයි මං කාලයක් තිස්සේ හොයපු කවි පොතක්.. 'ලයිලැක්'. පොතේ නම බැඳිලා තියෙන්නෙම මුල්ම ආදරය සංකේතවත් කරන්න.. ඒ පොත දිහාවට බැල්මක් දීපු මන් කෙලින්ම බැලුවේ එයාගේ ඇස් දිහා.. එත්කොට සීනු දැක්කේ ඒ වචන ලියවුන චිට් එකද.."

"ඔහ්හ්.. සරසවියට ගිය වෙලාවක මට අහම්බෙන් ඇහුනා ඔයා මේ පොත හොයනවා.. මන් ගාව එකක් තිබ්බා ඉතින්.. මේක කියවලා බලන්නකෝ.. කෙනෙක් පොතක් දෙද්දි එපා කියන්න හොඳ නෑ යුහස්වී.."

හිතේ ඇඳුන ප්‍රශ්න වචන කරන්නත් කලින් හේතු බඳින කෙනෙක්.. මට එපා කියලා කියාගන්නවත් බැරි කරපු කෙනෙක්.. ඔව් නාදිව් එහෙම කෙනෙක්..

"මන් කාටවත් ණය වෙන්න කැමති නෑ.. ඒ නිසා මට මේක බාරගන්න බෑ... ඒ වගේම මගෙන් සමාවගන්න හේතුවකුත් නෑ..."

"හරි යුහස්වී, ඔයා මේක කියවලා ආපහු එහෙනම් මට දෙන්නකො.. පොත් කියන්නෙම බෙදාගෙන කියවන්න ඕන දෙයක් නේද.. ඒක මටත් පිනක්.."

"යුවී, මේක ගනින් බන්.. අපි එකම පන්තියේ දන්න අයනේ.. කියවලා ගෙනත් දෙමු.. අනික උබ හොයපුම එකක් නේද මේ.."

මහීගේ වචනත් එක්ක මන් නාදිව්ගේ අතින් ඒ පොත ගත්තේ එයාගේ දිලිසෙන ඇස් තවත් දිලිසෙද්දි.. කෙනෙක්ගේ හිත සතුටු කරන්න ඒක ගත්තට ඒ එක්කම මට මහ වරදකාරී හැඟීමක් ඇති වුනා.

"මේ පොතට ස්තුතියි.. මන් කියවලා මේක ගෙනත් දෙන්නම්.."

ඒ වචන ටික අමාරුවෙන් කියාගන්න ගමන් මන් වාඩිවුන තැනින් නැගිට්ටේ මහීත් කලබල වෙද්දි.. බහින නැවතුමට කලින්ම මන් දොර ගාවට ගියේ නාදිව්ගේ ඇස් මඟ ඇරලා යන්න ඕන කමටමයි..

"ඒ යුවී, ඊලග හොල්ට් එකේ නේද උබ බහින්න ඕනේ.. පරිස්සමට පලයන්.. පුදුම කලබලයක්නේ උබට තියෙන්නේ.."

බහින්න කලින් මට මහීගේ ඇහුන හඬත් එක්ක මන් හැරිලා බලද්දි මන් දැක්කා නාදිව්ගේ පුදුම වුන ඇස්.. මූණට දමලා ගහලා යනවා වගේ එයාට හිතුනත් මට කරන්න දෙයක් තිබුන් නෑ..

බස් එකෙන් බැහලා මන් අඩියක්වත් ඉස්සරහට නොතියා එක තැනම ගල් වුනේ මෙච්චර වෙලා දකින්න හොයපු ඒත් දැන් දකින්න ඕන නැතිම රුවක්.. My time has come..

" උඹ මෙතනට එනවද.. මන් ඔතනට එන්නද..??

සීනු.. ඔව් ඒ සීනු.. හෙල්මට් එකේ වීදුරුව විතරක් උඩට කරන් එයා කතා කරද්දි ඒ ඇස්වල බැල්මට මාව වෙව්ලලා ගියා.. වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරි නිසා මන් එයාගාවට ඇවිදන් ගියේ කලින් දැනුන වරදකාරී හැඟීම දෙගුන වෙද්දි..

"හ්ම්ම් පුංචි නෝනා.. ලොකු හපන්කමක් කරලා වගේ.. ඉතින් බස් එකේ කොල්ලෙක් එහෙම බලන් ආවාද.. ආසාව හරිද දැන්.."

සීනු මේ බනිනවද නැත්තන් මාව විහිලුවට අරන්ද කියලා හිතාගන්නවත් බැරි වෙද්දි මගේ අතේ තිබ්බ පොත මට දැනුනේ ගිනි පුලිඟුවක් අල්ලන් ඉන්නවා වගේ..

"සීනු ඔයා ඇයි මෙතන.. ඔයා බස් එක පස්සෙන්වත් ආවාද..?"

"බස් පස්සෙන් යන්න උඹ හිතුවද මට පිස්සු කියලා. මන් හොඳින් කියන වෙලේ මගේ ඉවසීම පරීක්ෂා නොකර නැගපන් බයික් එකට.."

හැමදාම වගේ කිසිම හේතුවක් අහන් නැතුවම මන් එයාගේ වචන වලට අවණත වෙලා ඉවරයි..

එයාගේ අතේ තිබ්බ හෙල්මට් එක අරන් දාගන්න ගමන් මන් බයික් එකට නැග්ගේ වෙනදට එයාගේ උරහිසට අත තියලා වාරු වුනාට අද එයාට අතක් තියන්න බය හිතෙද්දි. අපි දෙන්නගේ මැදින් මන් අතේ තියන පොත තිබ්බේ අපි අතර හිස් තැනක් ඇති කරලා..

"හරියට අල්ලගන්න බැරිනන් වැටිලා මැරියන්.. උබ කොහොමත් අද යන්නේ ගෙදර නෙමෙයි මට ඕන තැන.. බැරිනම් දැන්ම බහින්න පුලුවන්..."

"ඔයාට යන්න ඕන ඕනම තැනකට මන් එන්නම් සීනු.."

සීනුගේ මේ හැසිරීමට අදත් හේතු මන් දන්නෙ නැති වුනත් එයාව තවත් කේන්ති නොකර මන් පුලුවන් තරම් අඩුවෙන් කතා කරලා හිටියේ එයාගේ කේන්තිය නිවෙනකන්.

කවදටත් වඩා වේගයෙන් බයික් එක හුලං කපාගෙන ඉදිරියට ගියේ සීනුගේ හිතත් මේ වගේද කියලා මට හිතෙද්දි.. අපේ ගමනාන්තය වුනේ මට දැකලා පුරුදු උස කළු ගෙට්ටුවක් ගාවින්.. ඔව් සීනුගේ ගෙදර..

"ආච්චම්මා කාලෙකින් උඹව දැක්කේ නෑ කිව්වා.. ඒකයි එක්කන් ආවේ.. ඇතුළට යන්න. මන් එන්නම් බයික් එක දාලා..."

සීනු නිවිලා.. ඉබේම ඇවිලෙන ඉබේම නිවෙන හිතක්.. සීනුගේ වෙනස ගැන හිතින් සතුටු වෙන ගමන් මන් ගේ ඇතුලට ගියේ මන් මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරන වයසක රූපයක් හොයන්.. බයික් එකේ සද්දෙට බෝරිච්චි හැට්ටයක් එක්ක ලස්සන මල් සායක් ඇඳන් හිටපු ආච්චම්මා එලියට ආවේ හිනා කටක් පුරෝගෙන..

"අනෙහ් මයේ චූටි දූව දැක්ක කල්.. මයේ කෙල්ලව මන් ඊයෙත් මතක් කලා.. කොහෙද අපේ ලොකූට කිව්වට කෝල් එකක්වත් අරන් දෙන්නෙ නෑනේ..."

ආපු සැනින්ම මාව තුරුල් කරන් ආච්චම්මා ගතු කියන්න ගත්තේ මට මේ වෙලාවේ ඕනම උණුසුම එයාගෙන් ලැබෙද්දි.. ආච්චම්මා ගාවින් එන ලුමිනස් පවුඩරි සුවදට මගේ හිත නිවුනා..

"එනකම්ම මට සීනු කිව්වේ නෑ ආච්චම්මේ අපි මෙහෙ එන්නේ කියලා නැත්තන් මන් ආච්චම්මා ආසම සමෝසා අරන් එනවනේ.. ඔයා හොඳින් නේද... තවත් තරුණ වෙලාද කොහෙද අපේ මේ ලමිස්සි.."

"අනේ අප්පෙහ් මේ කෙල්ලත් දන්නවා නාකි මට කොලොප්පම් කරන්න.. සීනු එනකන් කෝ එන්න දරුවෝ වාඩි වෙන්න.."

"ආච්චම්මා වාඩි වෙන්නකෝ මන් ඔයාගේ උකුලෙන් ඔලුව තියාගන්න මගේ ඔලුව අත ගාන්න පුලුවන්ද.."

ආච්චම්මා ගාවින් දණ ගහන් මන් ඒ උකුල උඩින් ඔලුව තියාගත්තේ පුදුම සැනසීමක් දැනෙද්දි.. ඒ අතේ පහසට මට හේතුවක් නැතුවම ඇඬෙන්න එනවා..

"මයේ චූටි දූ හිතේ කරදරේකින්වත්ද.. අපේ ලොකූ මයේ කෙල්ලගේ චූටි හිත ආපහු රිද්දුවද, ආච්චම්මට කියන්නකො මයේ දූ මොකො මේ දුකින් කියලා.."

"අනෙහ් නෑ ආච්චම්මා.. එහෙම මොනවත් නෑ.. සීනු ඉතින් හැමදාම ඒ සීනුමයි.. මට දැන් පුරුදුයි ආච්චම්මා.."

"හ්ම්ම්.. මයේ දූ දන්නවනේ ලොකූ බයයි මිනිස්සු ලං කරගන්න.. එයා රිද්දන්නේ එයාගෙ කියලා සලකන අයට විතරයි.. මයේ දූ තරම් ලොකූව තේරුම් ගත්ත දරුවෙක් මං දැකලා නෑ.. ලොකූ බබා ගාවින් ඉන්නවට මං ඔයාට ණයයි මගේ දරුවෝ.."

ඒ විඩාබර දෙනෙත් පිරිලා තිබුනේ සීනු ගැන උතුරන ආදරෙන්.. ආච්චම්මාගේ මේ වචන මගේ ඉස්සරහදි මෙහෙම කිව්වාට එයා කවදාවත් ඕවා වෙන කෙනෙක්ට කියන් නෑ.. අඩුම සීනුගේ අම්මා තාත්තා ගාවවත්.. මොකද සීනු කියන්නේ කාගෙන්වත් අනුකම්පාවක් ලබන්න ඕන කෙනෙක් නෙමෙයි. අඩුම එයාගෙම දෙමව්පියන්ගෙන්වත්..

"මොනාද අමාරුත් තියන් උඹ බිම වාඩි වෙලා කරන්නේ.. ඉවරද කියලා ඔක්කොම කේලම් ටික ආච්චම්මාට.. ඔයත් අච්චම්මේ මේකීව හොයන්නෙ මගේ ගැන කේලම් අහන්නනේ.."

"අනෙහ් මන් කිව්ව කේලමක් නෑ.. ආච්චම්මේ බලන්නකෝ.. මේ නපුරිච්චි දන්නෙම මට ඇනුම්පද කියන්න.."

"උබ මගේ නපුරුකම් තාම දැකලා නෑ යුහස්වී, උඹට ඕනෙනන් චෙන්ජ් එකක් දාගනින් මගේ කාමරේට ගිහින්.. මන් එන්නම් ටිකකින්..'

ඇත්ත.. මන් තාම එයාගේ නපුරුකම් හරියට දැකලා නෑ.. කියන්න ඕන දේ වචනෙන් දෙකෙන් කියලා එයා කුස්සිය පැත්තට ගියේ මාවයි ආච්චම්මයි සාලේ තනි වෙද්දි..

"යන්න මයේ දූ.. ගිහින් ටිකක් මහන්සි අරින්න.. මන් ගිහින් බලන්නම් ලොකූට මොනාද ඕනේ කියලා.. නැත්තන් කුස්සිය ගිනි තියයි.. අද ගේම පිරුනා දූ ආවත් හරි.."

අර නපුරි සියල්ල දත් වගේ හිටියට උයන්න කුස්සියට ගියාම විනාසයක් තමයි.. එයා කෑම හදන්න ආසයි හැබයි හදන කෑමට රෙසිපි එකේ තියෙන දේවල් ඔක්කොම ඒ කිව්ව ප්‍රමාණවලින්ම තියෙන්න ඕනේ..

හදපු එක ඒ විදියටම ආවේ නැති වුනොත්.... නෑ අපි ඒ ගැන කතා නොකර ඉමු...

සීනුගේ කාමරේ කියන්නේ මට මගේ ගෙදර තරම්ම පුරුදු තැනක්.. අළු සුදු කළු වර්ණ වලට මූලික තැනක් දීපු හරිම සිම්පල් ඒත් පිලිවෙල කියන දේ අකුරටම තියෙන කාමරයක් ඒක.. ඔව් ඒ කාමරේත් සීනුමයි..

සීනුට හැමදේම පිලිවෙලට තියෙන්න ඕනේ.. ගත්ත බඩුවක් උනත් ඒ තැනම තිබුන් නැත්තන් ඒක නිකන් එයාගේ පුරුදු වුන රටාවට බාධාවක් වගේ එයා දකින්නේ.. ඇඳේ රෙද්ද වුනත් එක රැල්ලක් නැති වෙන්න එයාට තියෙන්න ඕනේ..

මට මතකයි මන් එයා නිසාම එක රැල්ලක්වත් නැති වෙන්න ඇඳ රෙද්ද දාන්න ඉගෙනගත්ත හැටි. මොකද මන් එයාගේ සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත.. ඒවා මතක් වෙද්දිත් නිසසින්ම මගේ මුණට හිනාවක් එනවා. මන් එයාගේ පාඩම් මේසේ ගාවින් වාඩි වුනේ අතේ තිබ්බ පොතත් මේසේ උඩින් තියලා..

සීනු එනකන් කියලා එයාගේ නෝට්බුක් එකත් පෑනත් අතට ගත්තේ උදේ ඉඳන්ම හිතේ කොනිති ගහපු හැඟිම් අකුරු කරන්න තිබ්බානම් කියලා හිතන්...

හදවතේ ලියැවුණු මිතුදමක මනාව,

ඔබේ ස්පර්ශ හා මගේ සිතුවිලි වල ආරවුල,

අප අතර ඇති භංගුර බාධාව,

නැතිකර දමයි සත්‍යයේ හා

බලාපොරොත්තුවේ සීමාව....

කවි වලට පෙම් බැන්ඳත් කවිකාරියෙක් නොවුනු මං ඒ වචන අකුරු වුනේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉද්දි, දොරට තට්ටු කරන සද්දෙත් එක්ක මං ඒ පිටුව ඉරාගෙන සාක්කුවට දාගත්තේ මගේ හැඟිම් වලට වැට බඳින ගමන්..

"උඹ තාම චෙන්ජ් කරගත්තේ නැද්ද, හ්ම්ම්.. මේක බීලා ඉඳපන්.. උණුවෙන්ම ඕක බොන්න.."

මග් එකට දාලා සීනු මට ගෙනත් දුන්නේ මන් කවදාවත් බීලා නැති දෙයක්.. ඉඟුරු සුවඳත් එක්කම දුඹුරු පාටින් දුම් දදා තිබුන ඒ තේ ජාතිය මන් කටට ගත්තේ සීනී යහමින් වැටුන ඒ පැණි රසට ඇස් පිය වෙද්දි..

"සීනු මොනවද මේ.. මන් කලින් බීලම නෑ.. ඔයාද හැදුවේ..?"

"උඹට හදපු කෙනා වැඩක් නෑනේ.. ඕක අත් බෙහෙතක්ලු.. යටිබඩේ වේදනාවට හොඳයි කියලා මං දැක්කා. දුඹුරු සීනී ඉඟුරු එක්ක බොයිල් කරලා හදන මඟුලක්.. කැමති නම් බීපන් නැත්තන් නිකන් ඉඳපන්.."

කොහොම කියන්නද සීනු, උගුරෙන් පහලට යන මේ උණුසුම් ඉඟුරු එකට වඩා ඔයා නිසා මගේ හිතම උණුසුම් වෙනවා කියලා.. ඔයාගේ හැම රළු වචනයක් අස්සෙම මං දැක්කේ සීතල ග්ලැසියර් වුනත් දියකරන පුංචිම පුංචි ගිනි පුපුරක්...

ගැඹුරු මුහුදේ නිශ්චල බව මතක් කරන ඒ ඇස් දිහා බලන්ම මන් හිනා වුනේ තව ඉඟුරු බෙහෙතෙන් උගුරක් මුවට ගන්න ගමින්.. ඒ ඇස් හැමදාම වගේ හිස්..

මග් එක මේසේ උඩින් තියලා මගේ අත නිකන්ම ඇඳුනේ මෙසේ කෙලවරක තිබ්බ ෆැමිලි ෆොටො එකක් ගාවට.. ඔව්.. සීනු පොඩි කාලේ උපන් දිනේකට ගත්ත ෆොටො එකක්...

"අම්මි මාරම ලස්සනයි නේද බන්.. එයාගේ හිනාවලු මටත් තියෙන්නේ.. මටනම් එහෙම හිතෙන් නෑ.. මන් ආස මන් තාත්ති වගේ කියලා කියනවා අහන්න.."

සීනුගේ ඒ වචන එක්ක මන් පුදුමෙන් හැරිලා බැලුවේ ඒ වචන සීනුගෙමද කියලා දැනගන්න.. එයා කැමත්තෙන්ම අම්මා තාත්තා ගැන කියනවා අහන්න ගොඩක් අමාරුයි..

"ඔයාට තියෙන්නේ ඔයාගේ තාත්තිගෙම උස සීනු, ඒ පෞරුෂය ඔයාටත් අඩුවක් නැතුවම පිහිටලා.. ඒත් ඔයාගේ මේ ලස්සන නම් අම්මිගෙන්මයි ඇවිත් තියෙන්නේ.."

මන් මේතාක් ජිවිතේට සීනුගේ කටින් එයාගේ අම්මයි තාත්තියි ගැන එකම එක නරක වචනයක් අහලා නෑ.. එයාට ඒ දෙන්නා එයාගේ ලොකේ වීරයෝ...

ඇඳ උඩින් වාඩි වෙලා අත් දෙකත් දෙපැත්තෙන් තියන් සීනු කතා කරන්නේ කෙලවරක් නැති ඉසව්වක් දිහා බලන්..

"හ්ම්ම්.. ඒ වුනාට මන් ඒ දෙන්නා වගේ නෙමෙයිනේ.. මට අම්මි වගේ ලස්‍සන හදවතක්වත්.. තාත්ති වගේ කාරුණික හිතක් වත් නෑනේ බන්.. මන් කාගෙවත් හැඟිම් දැනීම් තේරුම් ගන්න බැරි අමනුස්සයෙක්.."

ඒ වචන වලට ඇවිලුනේ මගේ පපුව, අමනුස්සයෙක්...!! කෙනෙක්ට තව කෙනෙක්ගේ හැඟිම් දැනීම් දැනෙන් නැති එක ඒ වගේ ලෙබල් එකක් වදින්න තරම්ම අපරාදයක්ද..

"මොනවද සීනු මේ කියවන්නේ.. ඔයාටවත් අයිති නෑ ඔයා ගැන ඔහොම හිතන්න.. ඔයා ඔයාගේ අම්මයි තාත්තිටත් වඩා හොඳ මනුස්සයෙක්.. මන් මේ ලොකේ දැකපු ශක්තිමත්ම ගෑනු ලමයා ඔයා.. ඔයාට වගේ හිතේ හයියක් මන් කිසිම කෙනෙක්ගෙන් දැකලා නෑ.."

සීනු ගාවින්ම ඇඳ පාමුල මන් දණගහන් එයාගේ බිමට බර වෙලා තියෙන ඇස් දෙක මගෙ ඇස් වලින් අල්ලගන්න හැදුවේ ජිවිතේ කවදාටත් වඩා එයා ගැන දැනෙන කියාගන්න බැරි හැඟීමක් වැට කඩුළු පැනලා යන්න හදද්දි..

එයාව අල්ලන්න කියලා මට දැනෙන තදබල හැඟිම මගේ ඔලුවට ගලාගෙන එන්නේ මොළෙයි හදවතයි යුද්දේක පටලවලා... සීමා.. ඒවා තියෙන්නේ කඩන්නම නෙමෙයිද..

"සීනු මන් ඔයාව අල්ලන්නද??.."

යුද්දේක අවසන හදවත ඒ ජය සැමරුවේ මගේ කටින් ඒ වචන පිට වෙද්දි.. බිමට බරවුන ඒ ඇස් මගේ දිහාට යොමුවුනේ මන් කිව්ව දේ එයාට හිතාගන්න බැරුව වගේ.. ඒ හිස් ඇස් තව දුරටත් හිස් නෑ..

"හ්ම්ම්ම්.. හා..."

සීනුගේ අවසරයත් එක්කම මගේ සුරත එයාගේ දිහාට දිගු වුනේ මගේ හදවත මැරතන් දුවද්දි.. මන් ආසම කරන ඒ ඇස්, ඇහිපිල්ලමක්වත් නොහෙලා බලාගෙන හිටියේ ඇහි පිල්ලම වැටෙන සැනින් මේ මොහොත මැකිලා යයි වගේ..

"මේ ලොකේ ලස්සනම ඇස් දෙක ඔයාට තියෙන්නේ සීනු.. මේ ඇස් දවසක කතා කරන්න ගද්දි මට හිතෙයි ඒවා හිස් වෙලාම තිබ්බානම් කියලා.. කවදාවත්ම මේ ඇස් බිමට බර කරන්න එපා.. තනියෙන් හැමදේම දරාගන්න එපා මැණික.. මන් ඉන්නවනේ.." 

එයාව මේ දැන් බිඳිලා යන පෙණබුබුළක් තරම්ම පරිස්සමට මන් ඇල්ලුවේ මහපටඟිල්ලෙන් එයාගේ ඇස් කෙවෙනි වලට උනපු තෙතමනය උරා ගනිද්දි..

ඔව් සීනු.. ඔයා අද මහ මුහුදේ රැලි එක්ක මතුවන පෙණ බුබුලක් වගේ.. රැල්ල දරාගත්තට මේ පෙණ බුබුළ මට බර වැඩි...

"මගේ ලඟින් ඉන්න.. හැමදාම..."

ඇහිපිල්ලමක් වැටෙද්දිම සීනුගෙන් ඒ වචන පිටවුනෙත් මගේ අත එයාගෙන් මිදිලා කලිසම් සාක්කුවට ගියෙත් එකම මොහොතක.. ඒ ඇස් ආපහු මගේ දිහා බලන් ඉන්නවා.. ඔව් ඒත් අර සුපුරුදු හිස් බැල්මෙන්ම..

"මගේ හොඳම යාලුවා විදියට.....!"

සාක්කුවේ තිබුන කොලේ මගේ අතට පොඩි වෙද්දි මන් සීනුට දුන්නේ මේ ලොකේ එයා වෙනුවෙන් දෙන්න පුලුවන් ලස්සනම හිනාව..

"හා ඉන්නම්.. හොඳම යාලුවා විදියට.."

ඉතින් සීනු ඔයාගේ ජිවිතේ මගේ භූමිකාව ඒකනම් මන් ඒ චරිතේට උපරිමෙන්ම සාධාරණයක් කරන්නම්.. ඔයා වෙනුවෙන්..!

සංසාරයක් වුණත් කම්නෑ

අත් බැඳං අපි ඇවිදමු

නවතින්න ඕනෙ තැන ආවහම

හොඳම යාලුවො කියලා නවතිමු...

-21 වන කවිය ( ඒත් මං ආදරෙයි)-

More Chapters